කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙන බවට ඊයේ අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය වෙනස් කිරීමට, ඊට වෙනස් අර්ථකථන ලබාදීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ දරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
තමන් ඊයේ අගමැතිවරයාගෙන් විමසා සිටියේ, ජල මූලාශ්‍ර හරහා කොවිඩ් වෛරසය ව්‍යාප්ත නොවන බව තහවුරු වී තිබෙන හෙයින් කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන්නේද යනුවෙන් බවත්, භූමදානය සඳහා අවසර ලබාදෙන බවට අගමැතිවරයා ප්‍රකාශ කළේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් මිස වෙනත් සාමාන්‍ය මරණ සම්බන්ධයෙන් නොවන බවත් මරික්කාර් මහතා පවසනවා. සාමාන්‍යයෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම දැනටමත් සිදුවන බැවින් ඒ සඳහා අමුතුවෙන් ආණ්ඩුවේ අවසරයක් අවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සඳහන් කළේ.
ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන බැවින් එහිදී ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් සමනය කර ගැනීම සඳහා කොවිඩ් මරණ භූමදානය කිරීමට තීරණය කර තිබෙන්නේද යන සැකය මතුවන බවද මරික්කාර් මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ නොමේරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදැන සිටියද ජිනීවාවලදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අගමැතිවරයාට නිවැරදි වැටහීමක් තිබෙන බවත්, එම තත්වය තේරුම් ගෙන හෝ මෙම තීරණයට එළඹීම වැදගත් බවත් මන්ත්‍රීවරයා පවසනවා.
ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රකාශය විහිළුවකට නොගෙන හැකි ඉක්මනින් මෙම තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසත් පසුගිය කාලයේදී ආණ්ඩුව ගත් බොහෝ තීරණ ආපහු හැරවූ ආකාරයෙන්ම මෙම තීරණයද ආපසු හැරවිය නොහැකි බව ආණ්ඩුවේ ලොකු පොඩි සියලු දෙනාම තේරුම් ගතයුතු බවත් මරික්කාර් මන්ත්‍රීවරයා පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්