බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරග පරාජය කලකිරීමට හේතුවක් බවත්, කණ්ඩායමේ අත්දැකීම් නොමැතිකම කණ්ඩායමට විශාල පාඩුවක් ගෙන දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.
පෙරේදා (25 වැනිදා) පැවැති දෙවැනි තරගය අවසන් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් කුසල් මේ බව කියා සිටියේය. එහිදී අදහස් දක්වා සිටි කුසල් ‘තරග පරාජය කලකිරීමට කාරණයක්. කණ්ඩායමේ අත්දැකීම් නොමැති බව අපිට විශාල පාඩුවක් ගෙන දුන්නා.’ යි කියා සිටියේය.
තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය රාජකාරිය අකුරටම ඉටු කරන අයුරක් දැකීමට තිබුණද, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණය පැවතියේ වගකීම් විරහිත මට්ටමකය. එකින් එක කඩුලු දැවී යන මොහොතකදී වුවද එක් අන්තයක් ආරක්ෂාකර ගනිමින් නැංගුරම් ඉනිමක් ක්‍රීඩා කිරීමට පිතිකරුවන් අපොහොසත් වූයේය.
තරගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා ‘මැදපෙළ පිතිකරුවන්ගේ බිඳ වැටීම තරග දෙකෙහිදීම අපගේ පරාජයට හේතු වුණා. අපේ ක්‍රීඩකයින් ඔවුන්ගේ ශක්තින් සහ තමන් ගැන විශ්වාස කරලා නිර්භීතව ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි.’ යනුවෙන් කියා සිටියේය.
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 5කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වූ තරග දෙකද ඇතුළුව පරාජය වී ඇති මුළු තරග ගණන 5කි. ඉකුත් මාර්තු මාසයේ අදාළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව් හමුවේ තරග 3-0කින් පරාජය විය.
සහභාගි වූ සෑම තරගයක්ම පරාජය වී තිබීම හේතුවෙන් සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 13ක් අතරින් ශ්‍රී ලංකාව රැඳී සිටිනුයේ 12 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවට පිටුපසින් නෙදර්ලන්තය පමණක් රැඳී සිටින අතර ඔවුන් අදාළ තරගාවලිය යටතේ තවමත් එක් තරගයකට හෝ සහභාගි වී නොමැත.
ශ්‍රී ලංකාව හමුවේ පෙරේදා (25 වැනිදා) පැවැති දෙවැනි තරගය ජය ගැනීමත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලි ජය බංග්ලාදේශය සතු විය. මෙය සටහන් වූයේ මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ පළමු එක්දින තරගාවලි ජය ලෙසයි.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් තරගාවලිය යටතේ තරග 8 කට සහභාගි වී ඇති බංග්ලාදේශය ඉන් තරග 5ක ජය හිමිකරගෙන කණ්ඩායම් ලැයිස්තුවේ අංක 01ට පත්ව සිටී.
දෙවැනි තරගයේ සහ තරගාවලි ජය සම්බන්ධයෙන් අදහස් දැක්වූ
බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් ‘පළමු තරග දෙක ජයගෙන තරගාවලිය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. තුන්වැනි තරගයේදීත් එය කිරීමට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. නමුත් තවමත් අපි අපේ සුපුරුදු ක්‍රීඩා රටාවට පැමිණිලා නැහැ.’යි කියා සිටියේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්