මෙරට ජනතාවට අවශ්‍ය සම්පූර්ණ කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය ඒවා නිෂ්පාදනය කරන සමාගම් වෙතින් ඉතාම ඉක්මනින් ලබාගැනීම සඳහා දැන්ම සාකච්ඡා ආරම්භ කර ගිවිසුම් වලට යා යුතු බවත් එම එන්නත් මෙරටට ගෙන්වීමෙන් පසු ගබඩා කිරීම සඳහා ශීතාගාර ස්ථාපනය කිරීම වැනි වැඩ කටයුතු ද වහාම ක්‍රියාත්මක කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“ෆයිසර් කියන ආයතනයෙන් 90%ක සාර්ථකත්වයෙන් යුතුව කොරෝනා මර්දනය සඳහා එන්නත් නිපදවලා තියෙනවා කියන කාරණය අපි දන්නවා. විශේෂයෙන් මේ වනවිටත් යුරෝපා සංගමය සහ වෙනත් රටවල් ඒ ෆයිසර් කියන ආයතනයත් සමඟ ගිවිසුම්ගත වෙලා හමාරයි ඒ ඒ රටවල්වල ජනතාවට ඒ කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නට.
මං අහන්නට කැමතියි වර්තමාන රජයෙන් ඒ 90%ක සාර්ථකත්වයක් තිබෙනවායි කියන මේ බෙහෙත අපේ රටේ ජනතාවට ලබාදෙන්නට මොකක්ද අරගෙන තියන පියවර ? අඩුම ගාණෙ ඒ සමාගම එක්ක ගිවිසුමකට එළඹිලා තිබෙනවාද අපේ රටේ සියලුම පවුල්වල ඒ එන්නත ලබාදිය හැකි සියලුම පුද්ගලයින්ට ඒ එන්නත් ලබා දෙන්නට ඒ ඇණවුම් කරලා තිබෙනවාද ? ඒ එන්නත් ඇණවුම් කරලා එන්නත් ප්‍රවාහනය කරනකොට ඒ අදාළ උෂ්නත්වය රැකගෙන ගුණාත්මක එන්නත් අපේ රටට ගෙන එන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවාද ?
ඒ එන්නත් මෙරටට ගෙන්නුවාට පස්සේ සුවිශෙෂී ශීතාගාරවල ගබඩා කරන්නට ඕනෙ. එවන් සුවිශේෂී ශීතාගාර ස්ථාපනය කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවාද ? මම දන්න ආකාරයට ඔය මොනම දෙයක්වත් කරන්නට රජය කටයුතු කරලා නෑ. රජය දන්නේ තමන් තමන් සහ තමන්ගේ තැරැව්කරුවන් ලව්වා බෙහෙත් ගැන කතා කරන අයට මඩ ගහන්න විතරයි. දැන් මම මේ කියන කාරණාවලටත් ඊළඟ දවසේ ඉඳලා මඩ ෆැක්ටරි වලින් මඩ ගහන්න ඉඩ තියෙනවා. හැබැයි මම මේ කාරණා ඉදිරිපත් කරන්නේ රටේ ජනතාව ගැන හිතලා, රට වෙනුවෙන්.
මේ නිෂ්පාදනය වෙන ඖෂධ තම තමන්ගේ රටවල් වලට ලබාගන්න ලොකු ගිවිසුම් පොරයක් අද ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා, ඒ නිසා අපේ රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාගන්න ඒ සමාගම් එක්ක සාකච්ඡා කරන්න කියලා රජයට මම කියනවා. නිද්‍රාශීලීව ඉඳලා බෑ. ඒ සඳහා රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සබඳතා තියෙන සමගි ජන බලවේගයේ අපි ලෑස්තියි ඒ ආයතනත් එක්ක කතා කරලා අපේ රටට බෙහෙත් ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාගන්න.
ඒ වගේම වැදගත්ම කාරණාව තමයි, කරුණාකරලා බෙහෙත් මේ රටට ගෙනාවට පස්සේ එක තඹ සතයක්වත් අපේ රටේ ජනතාවගෙන් අය කරන්නට නම් ලෑස්ති වෙන්න එපා. ඒක මම පැහැදිලිවම මේ ආණ්ඩුවට කියනවා. මේ කොවිඩ් 19 වෙනුවෙන් ජනතාවට ලබාදෙන හැම එන්නතක්ම නොමිලේ ලබාදීමට කටයුතු කරන්නැයි කියලා මම ජනතාව වෙනුවෙන් රජයට යෝජනා කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (15) තිස්සමහාරම, කොහොඹගහපැලැස්ස සුබෝධාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්