මෑතක් වන තුරු අපේ රටට කජු, අඹ, පේර, සියඹලා පවා පිටරටින් ගෙන්නුවා. ඉදල් කොහු විතරක් නොවෙයි කැටපෝලයත් ගෙන්නුවා. ඉරටුත් ගෙන්නුවා. එහෙම කළාම මේ රටේ විදේශ විනිමය රටට අහිමිවීම විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ, මේ රටේ ජනතාව උපන්ගෙයි බෝඩිම්කාරයෝ බවට පත් වීම බව හිටපු ජනාධිපති ,වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ දී පසුගියදා ආරම්භ වූ අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ අගමැතිවරයා..
තමුන්නාන්සේලා දන්නවා 2005 මහින්ද චින්තනය කියා ඉදිරිපත් කරනකොට බොහෝ දෙනෙක් ඒ නමට හිනා වුණා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ යුද්ධය අවසාන කර, රටේ සංවර්ධනය ඇති කර රට ගොඩනඟන කොට ඒ හිනා වෙච්ච අයට උත්තර නැති වුණා. ඒ මහින්ද චින්තනයේ දිගුවක් හැටියට තමයි සෞභාග්‍යයේ දැක්ම අප ඉදිරිපත් කර තියෙන්නේ. සෞභාග්‍යයේ දැක්මෙන් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනඟා අපනයනයන් මූලික කරගත්ත ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමයි. මේක කරන්න මුලින්ම උත්සහ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ලබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට එදා තාමත් මතකයි, එතුමිය රටේ අපනයනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනඟන්න මොනතරම් මහන්සි වුණා ද කියා.
මැතිනිය 1972 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටෙව්වා. මේ රටේ කුළු බඩු ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා මුල්ම අඩිතාලම එතුමිය දැම්මා. නමුත් දේශීය ආර්ථිකයක් ගොඩනඟාගෙන යනකොට එතුමියට විශාල බාධා එදා ඇති කළා. 1977 වෙනකොට එතුමියව පරාදත් කළා. ආර්ථිකය දේශීය වශයෙන් ශක්තිමත් කරන්න හදන කොයි ආණ්ඩුවටත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ.
අපේ රටේ කුරුඳු ඇතුළු නිෂ්පාදනවලට ලෝකයේ ලොකු අනන්‍යතාවක් තියෙනවා. පෘතුගිසින්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන් ආවෙත් මේ රටේ තේ, පොල්, රබර් හොයන්න නොවෙයි. ඒ අය ආවේ කුරුඳු, ගම්මිරිස්, සාදික්කා වගේ මූලික කුළු බඩු හොයන්න. ඒ අය ඉන් පස්සේ තේ, පොල්, රබර් මුල් කරගත් ආර්ථිකයක් හැදුවා. නිදහස ලැබුණට පස්සේ, අපේ අය කුළු බඩු ප්‍රධාන ආර්ථිකය ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඒවා විනාශයට යන්න ඇරියා. විදේශිකයෝ අපට දීපු තේ, පොල්, රබර් ගැන විතරක් විශ්වාසය තිබ්බා.
අපේ රටේ නිෂ්පාදනක් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල්වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට. අපේ ජනතාව මනසින් මොනතරම් වහළුන් කළාද කිව්වොත් මේ රටට අඹ, කජු, අන්නාසි, පේර, ඉරටු, කැටපෝල ගේනවට නෙමෙයි හිනා වුණේ. කජු වවනවට සියඹලා වවනවට ඒවා වෙනුවෙන් අමාත්‍යාංශයක් වෙන් කරන එකට තමයි හිනාවෙන්න පටන් ගත්තේ. නමුත් මතක තියාගන්න, අපේ රටට අපේ ප්‍රතිපත්තියේ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා.
කහ ආනයනය කරන්න රුපියල් මිලියන 1000ක් අප වාර්ෂිකව වැය කළා. අප කහ වසරක් ආනයනය කරන්නේ නැතුව ගොවියාට කහ වවන්න ඉඩදී තිබුණා. කහ රටින් ගෙන්වන්නේ නැහැ. වෙළෙඳපොළේ කහ හිඟයි කියා, දැවැන්ත විරෝධයක් මේ රටේ ඇති කළා. නමුත් අප ඉවසගෙන ඒ විරෝධතාවන්ට මුහුණදී හොරෙන් ගේන කහවත් වෙළෙඳපොළට දාන්නේ නැතුව අපේ බිමේ කහ උපදිනකල් අප වැඩ කළා. අද වෙනකොට කහවලට පිටරටට ඇදෙන රුපියල් මිලියන 1000ක් මේ රටේ ඉතුරු වෙලා” යනුවෙන්ද පැවසීය.
මේ අවස්ථාවට කසාගල රාජමහා විහාරාධිපති තලංපෝරුවේ ඉන්ද්‍ර ශ්‍රී සුමන හිමි, කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමි ඇතුළු ස්වාමීන්වහන්සේ ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අභයරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ