එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා ලංකාව බලා පැමිණෙන ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ මුම්බායි හි හෝටලයක දින 14ක නිරෝධායනය ආරම්භ කර තිබේ.
ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරන ඔවුන් මේ මස 28 වැනිදා ලංකාව බලා පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව මෙරට සෞඛ්‍ය නීති රෙගුලාසි යටතේ නැවත දින තුනක් නිරෝධායනය වන ඉන්දීය කණ්ඩායම ජූලි මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටී. ජුලි 6 වැනිදා සිට ඔවුන් සම්පූර්ණ කණ්ඩායමම සමගින් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
දෙරට අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට පෙර ඉන්දීය කණ්ඩායම පුහුණු තරග තුනකට සහභාගි වීමට නියමිත බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. ඒ අනුව ඔවුන් තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම විස්සයි විස්ස තරගයකට සහ එක්දින තරග දෙකකට සහභාගි වීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
විදෙස් කණ්ඩායමක් පැමිණීමේදී ‘ඒ’ කණ්ඩායම සමග පුහුණු තරග ක්‍රීඩා කිරීම සාමාන්‍යයෙන් සිදු වුවත්, උද්ගත තත්ත්වය හමුවේ මෙවර එය යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් අන්තර් කණ්ඩායමක් සමග පැවැත්වෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ජූලි මස 13 වැනිදාත්, දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් ජුලි මස 16 සහ 18 වැනිදාත් දිවා රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙනු ඇත.
රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තරග ජුලි 21, 23 සහ 25 වැනිදාත් පැවැත්වේ. අදාළ තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
වසර තුනකට පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක නිරතවන අතර ඔවුන් අවසන් වරට 2018 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වී තිබේ.
20 දෙනකුගෙන් යුත් ඉන්දීය සංචිතය
ශිකර් ධවාන් (නායක), බුවනේෂ්වර් කුමාර් (උප නායක), ප්‍රිත්වි ශෝ, දෙව්දත් පඩික්කාල්, රුතුරාජ් ගයික්වාඩ්, සූර්යකුමාර් යාදෙව්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, නිතීෂ් රානා, ඉශාන් කිෂාන්, සන්ජු සැම්සන්, යුස්වේන්දර් චහාල්, රාහුල් චාහර්, කේ. ගෝතම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදෙව්, වරුන් චක්‍රවර්ති, දීපක් චාහර්, නව්දීප් සයිනි, චේතන් සකාරියා
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි