ලබන ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය කණ්ඩායම් නම් කිරීම සඳහා ලබාදී තිබුණු කාලය අද (10 වැනිදා) අවසන් වේ.
ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් ඊයේ (9 වැනිදා) පස්වරුව වනතෙක් නිල වශයෙන් නිවේදනයක් නිකුත් නොවීය.
කෙසේ නමුත් දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම හෝ නුවන් ප්‍රදීප්, අකිල ධනංජය හෝ ළහිරු මධුශංඛ යන ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් ඇතුළත් වනු ඇති බවට වාර්තා විය.
අදාළ සංචිතයට අමතරව නම් කෙරෙන අතිරේක ක්‍රීඩකයන් වශයෙන් ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, ළහිරු මධුශංක හෝ අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් හෝ ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත් වන බවට සඳහන් වේ. මෙහිදී ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය සහ ළහිරු මධුශංඛ යන අයගෙන් දෙදෙනෙක් 15 දෙනාගේ සංචිතයටත්, දෙදෙනෙක් අතිරේක ක්‍රීඩකයන් ගොන්නට ඇතුළත්වන බැවින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට පිටත් වන අවසන් ක්‍රීඩකයන් 19 දෙනා මොවුන් වනු ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව මීට මසකට පමණ පෙර නවසීලන්තය සිය විස්සයි විස්ස සංචිතය නම් කරනු ලැබීය. ඊයේ වන විට සිය සංචිත නම්කළ සෙසු කණ්ඩායම් වූයේ, බංග්ලාදේශය, ඉන්දියාව, ඕමානය, පාකිස්තානය, පැපුවානිව්ගිණියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයයි.
ඒ අතරින් ශ්‍රී ලංකා සංචාරයක නිරත වී සිටින දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ද ඊයේ (9 වැනිදා) පසුවරුවේ සිය සංචිතයන් ප්‍රසිද්ධ කරනු ලැබීය.
මෙහිදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සිය අවසන් සංචිතය පෙරේදා (9 වැනිදා) නම්කර තිබුණු අතර සුපුරුදු පරිදි නායකත්වය සහ උපනායකත්වය විරාට් කෝලිට සහ රෝහිත් ෂර්මාට හිමිව තිබුණි. ඉන්දීය කණ්ඩායම නම් කිරීමේදී වූ සුවිශේෂී කාරණයක් වූයේ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් නම්කර තිබීමය.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහ දඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වෙන්දර් චහල් අතිරේක ක්‍රීඩකයන් වශයෙන් හෝ නම්කර නොතිබීම කැපී පෙනෙන කාරණයක් විය. අයි.පී.එල්. තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයන් බහුතරයක අවස්ථාව උදා වී ඇති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 06 දෙනෙකුට ඉන්දීය සංචිතයේ අවස්ථාව උදා වීම කැපී පෙනෙන කාරණයක් විය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්