කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පවතින වාහන තදබදයට පිළියමක් වශයෙන් කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා පාපැදි මංතීරුවක් ඉදිකිරීමට රජය සැලසුම් කරනවා.
ඒ අනුව කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්ම මේ වනවිට සකස් කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා පැවසුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, ඝණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහත්වරු විසින් අනුමත කර ඇති මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂ ද සිල්වා සහ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහත්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පා පැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ඉතා ආරක්ෂාකාරී ලෙස ගමන් කිරීමට හැකි පරිසරයක් ද මේ තුළින් ගොඩනැගීමට අපේක්ෂා කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්