වෛශාඛ වේසාඛ වෙසක්

ලෝකයෙහි සකල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම දිනය නම් වෙසක් දිනය යි. ඒ කවර හෙයින් ද යත් බෞද්ධයන් ගේ ශාස්තෘවරයාණන් වන සිද්ධාර්ථ ගෞතමයන් ගේ උත්පත්තිය, සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන සිද්ධි තුන ම මෙ දින සිදු වූ බව සැලැකෙන හෙයිනි.

ලංකාවාසීනට විශේෂයෙන් ම වෙසක් දිනය ඉතා වැදැගත් වේ. මහාවංසයෙහි පැවැසෙන පරිදි,

පතිට්ඨිස්සති, දේවින්ද ලංකායං මම සාසනං
(තස්මා සපරිවාරන්තං) රක්ඛ ලංකඤ්ච සාධුකං

යැයි බුදුහු පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩහිඳ ශක්‍ර දේවේන්ද්‍රයාට ලංකාවෙහි තම (බුද්ධ) ශාසනය පිහිටන බව පවසා ලංකාව රැක්ම බාර කළ හ. මහාවංසයෙහි ම පැවැසෙන පරිදි බුදුහු තෙ වරක් ලක්දිවට වැඩම කළ හ; යක්ෂයන් පලවා මෙ රට මනුෂ්‍ය වාසයට සුදුසු කළ හ. උපභෝග පරිභෝග වස්තු ලංකාවාසීනට දුන් හ; මෙ අනුව, බුදුන් විසින් ම ලක්දිවට බුදු සමය හඳුන්වා දෙනු ලැබිණි යි සිතීම වරදක් නො වේ. එ වුව ද, බුදු සමය මෙ රට මුල් බැස ගත්තේ, රාජ්‍යානුග්‍රහය ලද්දේ මිහිඳු මහ තෙරුන් ගේ පැමිණීමෙන් පසු ව බව ඓතිහාසික වශයෙන් පිළිගැනේ.

වෙසක් දිනය පූජෝත්සවයක් ලෙසින් සැමැරීම ද මිහිඳු මහ තෙරුන් විසින් බුදු සමය පිහිටුවාලනු ලැබීමෙන් පසු වැ ඇරැඹුණු බව නිසැක ය. එ පිළිබඳ වැ විමසන්නට පෙර ‘වෙසක්’ වදන කෙසේ ප්‍රභව වූවක් දැයි කෙටියෙන් හෝ විමැසිය යුතු වේ.

ඓතිහාසික නිරුක්ති කථනය අනුව, සංස්කෘතයෙහි වෛශාඛ යනු ද පාලියෙහි වේසාඛ යනු ද සිංහලයෙහි යෙදෙන්නේ වෙසක් යනුවෙනි. වෛශාඛ යනු අරුත් කිහිපයකින් යුත් වදනෙකි. එහි ප්‍රමුඛාර්ථය නම් භාරතීය චන්ද්‍ර මාස ක්‍රමය අනුව දෙවන මාසය යි. එ මස යෙදෙන පුන් පොහෝ දින ද එ නමින් ගැනේ. එ නම් වෙසක් පොහෝ දින යි. පාලියෙහි වේසාඛ යනු ද මෙ අරුත්හි ම යෙදේ. සිංහලයෙහි වෙසක් යනු ද මෙ අරුත් මෙසේ ම දෙයි. වෙසක්, වෙසග වෙසඟ යන රූප තුනෙකින් ඉතා පැරැණි කල්හි සිට සිංහලයෙහි මෙය ඇත්තේ ය.

සිංහල ප්‍රාකෘත නමින් භාෂාඥයන් විසින් සලකනු ලබන අවධියෙහි පටන් සිංහල ව්‍යවහාරයෙහි මෙ වදන යෙදුණු අයුරු දක්නා ලැබේ. පූර්ව බ්‍රාහ්මී නමින් හඳුන්වනු ලබන ලේඛනවල මෙය නොදක්නා ලැබෙතුදු අපට බ්‍රාහ්මී ලේඛනවල දක්නා ලැබේ. නිදසුනක් ලෙස, (දෙ වන භාතික තිස්ස රජ සමයට අයත් යැයි පරණවිතානයන් විසින් සැලැකෙන) කොක්එබේ පර්වත ලිපියෙහි මහාගාමයෙහි භෝජක අය සගය (අයභ සංඝ) ගේ දුව වූ තලතා ලචි විසින් කරන ලද ප්‍රදානයන් දක්වන අතර,
…පුවය බතිය තිස මහරජහ වත ලගිත පඩම අවනකහි වෙසක චද පුණමසෙ චත දිවස…
යන යෙදුම දක්නා ලැබේ. මෙහි වෙසක චද නම් වෛශාඛ චන්ද්‍රයා (වෙසක් සඳ) යි.
මෙයට වඩා මෑත කල්හි, එ නම් ක්‍රිස්තු වර්ෂයෙන් දස වන සියවසට අයත් යැ යි සැලැකෙන කතරගම සෙල්ලිපිවලින් එකෙක, කපුගම පිරිවෙනට කැරුණු ප්‍රදානයක් දක්වන අතර,

…දාපුල් මහ රද්හු සත් ලැඟු සවන හවුරුදුයෙහි වෙස ගැ පුන් සන්ද් පොහොහි කපුගම් පිරිවෙනට්…
යනු යෙදෙන දක්නා ලැබේ. මෙහි ‘වෙසගැ පුන් සන්ද් පොහොහි යනුයෙන් වෙසක් මස පූර්ණ චන්ද්‍රයා උදා වන පොහෝ දිනය හෙවත් වෙසක් පසළොස්වක අදහස් කැරේ. තව ද, පුරාතන අභිලේඛන කිහිපයෙක වෙසක් යනු ද ඒ හා සමාන්තර වචන ද යෙදී ඇති බව දැකිය හැකි ය.

ග්‍රන්ථාගත සාහිත්‍යයෙහි ද වෙසක් හා සම වදන් මධ්‍යතන අවධියෙහි පටන් දක්නා ලැබේ. සාමාන්‍යයෙන් පොලොන්නරු සමයට අයත් යැ යි ගැනෙන අමාවතුරෙහි ස්වසන්තාන දමන නම් පරිච්ඡේදයෙහි,
…සිනිඳු අහරින් සිරිරු සතපාගෙනැ වෙසඟ පුනු පොහෝ දවස් පස් මහ සිහින දැකැ විචාරා…
යනු ද, එහි ම
වෙසඟ පුනු පොහෝ දවසැ උදයැ මැ නැඟී ඒ අට දෙනුන් කිරි දෝනා සඳහා මුදාලු…
යනු ද යෙදී ඇත.

මේ යෙදුම් අනුව නිගමනය කළ හැක්කේ සංස්කෘතියෙහි වෛශාඛ පාලියෙහි වේසාඛ යනු සිංහලයෙහි වෙසක් – වෙසග – වෙසඟ යනුවෙන් පරිණාමය වැ ඇති බව යි. වෙසක් යනු ඝෝෂාදේශයෙන් වෙසග (වෙසග්) වී යළි නාසික්‍යාගමයෙන් වෙසඟ වෙයි. වර්තමාන ව්‍යවහාරයෙහි ‘වෙසග (වෙසග්) යනු නො යෙදේ. වෙසක්, වෙසඟ යනු යෙදේ.

මෙ රට බුදු සසුන පිහිටැවීමෙන් පසු වෙසක් දිනය මහත් ශ්‍රද්ධා භක්ති පූර්වක ව සමරන ලද හයි සිතිය හැකි ය. මෙ රට මතු නොව භාරතයේ පවා වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමැරුණු බව ඓතිහාසික මූලාශ්‍රවලින් පෙනේ. පාහියන් හිමියන් විසින් වර්ණිත, බුදු පිළිම, බෝසත් පිළිම, දෙව් පිළිම සහිත වූ අතිශය විචිත්‍ර ආකාරයෙන් පැවැත්වුණු පෙරහරක් වෙසක් උලෙළ වෙනුවෙන් පවත්වන ලද්දකැයි වල්පොළ රාහුල ස්වාමීන්ද්‍රයෝ සිතති. පාහියන් හිමියන් පවසන පරිදි, මේ පූජෝත්සවය සියලු බෞද්ධ රාජ්‍යවල සමාන වැ පැවැත්වේ.

පාහියන් විසින් දුටු පූජෝත්සවය ක්‍රි.ව. පස් වන සියවසේ දී පවත්වන ලද්දෙකි. එයට බොහෝ පෙර ක්‍රි.පූ. පළමුවන සියවසේ දී ලක්දිව වෙසක් පුද උලෙළ පැවැත්වුණු බව මහාවංසයෙහි දැක්වේ. ඒ, දුටුගැමුණු රාජ්‍ය කාලයෙහි ය. එ වුව ද, එයට ද පෙර එබඳු වෙසක් උළෙලවල් නිසැක වැ ම පැවැත්වෙන්නට ඇතැ යි දෙවන පෑතිස් කල පටන් දුටුගැමුණු කල තෙක් ඉතිහාසය මැනැවින් පිරික්සන විට පෙනී යයි.

දුටුගැමුණු රජු පැවැත්වූ වෙසක් පුද ​උලෙළ වුවද මහා වංසයෙහි සවිස්තර වැ නො පැවැසේ. මරණ මඤ්චකයෙහි වැදහොත් එ රජු ගේ පින් පොත කියවන කල ‘මහ වෙසක් පුද සූවිස්සක් කරන ලදී’

(මහාවෙසාඛ පූජා ච චතුවීසති කාරයිං) යි කියූ බව පැවැසේ. එ පුද කෙ බඳු වී දැයි එයින් දත නොහැකි ය. එ වුව ද එයින් මතු වන වැදැගත් කරුණක් නම් ගැමුණු රජු රජව පත්වීමෙන් ඉක්බිති හැම වසරෙක ම වෙසක් උලෙළක් පවත්වන්නට ඇති යැ යනු යි. ඔහු ගේ රාජ්‍ය වර්ෂ ගණන ද විසි හතරක් වීම එ බව තිර කරන කරුණෙකි.

අනුරාධපුර අවධියෙහි දී ම, තව ද රජවරු දෙදෙනෙක් මෙ සේ ස්වකීය රාජ්‍ය වර්ෂ සංඛ්‍යාව හා සමාන වන පරිදි වෛශාඛ පූජෝත්සව පැවැත්වූ හ. ඒ, භාතිකාභය, වසභ යන රජවරු දෙදෙනායි. ඔවුනතුරින් භාතිකාභය රජ වෙසක් පුද විසි අටක් පවත්වා එ බඳු ම කලක් රජ තනතුරෙහි සිටියේ ය.

මහා වෙසාඛ පූජා ච – උළාරා අට්ඨවීසති
චතුරාසීති සහස්සානි – පූජා ච අනුළාරිකා

යි මහාවංසයෙහි භාතිකාභය රජු ගේ පූජා ගැන දැක්වේ. ඔහු ගේ ශ්‍රද්ධාවන්ත භාවය ද බුද්ධශාසන විෂයක වැ කරන ලදහ යි කියැවෙන අතිමහත් පූජා සම්භාරය ද සලකන කල්හි එ සේ හැම රාජ්‍ය වර්ෂයෙක ම වෛශාඛ පූජා පැවැත්වීම කිසි සේත් අතිශයෝක්ති සහගත කාරණයක් විය නොහැකි ය.

අනුරාධපුර අවධියෙහි තවත් බොහෝ රජුහුදු වෙසක් පුද පැවැත්වූ අයුරු මහාවංසයෙහි පැවැසේ. වසර විසි දෙකක් රජ බවෙහි සිටි වෝහාරතිස්ස රජු ද මහ වෙසක් පුද පවත්වා ලක්වැසි සියලු භික්ෂු සංඝයාට තුන් සිවුරු පුද දුන් බව කියැවේ. ගෝඨාභය හෙවත් මේඝවර්ණාභය රජ තෙමේ මහමෙවුනා උයන්හි මහා වෛශාඛ පූජා පැවැත්වූ බව දීපවංසයෙහි ද පැවැසේ. ඔහු සඟුන් තිස් දහසක් දෙනට එ වෙනුවෙන් සිවුරු පුද දුන් බව මහාවංසයෙහි පැවැසේ. එ රජු මෙන් ම ජෙට්ඨතිස්ස රජු ද වෛශාඛ පූජාවෙහි දි තිස් දහසක් සංඝයා වෙත සිවුරු පිදූ බව දැක්වේ. අනුරාධපුර පශ්චිම අවධියෙහි වෙසක් පුද පැවැත්වූ තවද රජ කෙනකු වනුයේ දළ මුගලන් (දල්ල මොග්ගල්ලාන) යි. ඒ ගැන පවසන තන්හි දී

සබ්බ වෙසාඛ පූජාදිං – චාරිත්තානුගතං අකා
ධම්මකම්මෙන සොධෙයි – සබ්බං සුගතසාසනං

යි දැක්වෙන පරිදි වෙසක් පුද පැවැත්වීම රජවරුන් ගේ අඛණ්ඩ චාරිත්‍රයක් විය. මෙ අනුව, මහාවංසයෙහි නම් කොට දක්වා ඇති රජවරුන් මතු නො ව අන් රජවරුනුදු වෙසක් පුද පැවැත්වීම කළ හ යි සිතිය හැකි ය.
වෙසක් පුද උලෙළ පැවැත්වූ තව ද රජ කෙනකු වනුයේ දෙ වන සේන යි. අනෙක් රජවරුන් මේ පුද පැවැත්වූ බව විනා කෙසේ පැවැත්වූවා ද යන්න නො පැවැසේ. එ වුව ද, මෙ රජු වෙසක් පුද පැවැත්වූ අයුරු

වෙසාඛකීළං කීළිත්ථ – සද්ධිං දුග්ගතකෙහි සො
අන්නපානඤ්ච වත්ථං ච – තෙසං දත්වා යථාරුචිං

යනුවෙන් මහාවංසයෙහි පැවැසෙන පරිදි, ඔහු දුගීනට ඔවුන් කැමැති අයුරින් අහර පැන් ද ඇඳුම් ද දීමෙන් මෙ උලෙළ පවත්වා ඇත. මෙහි එන ‘වෙසාඛකීළං කීළිත්ථ’ යන්න අනුව ක්‍රීඩෝත්සවයෙක ආකාරයෙන් උත්කර්ෂවත් වැ මෙ රජු විසින් වෙසක් උලෙළ පැවැත්වුණු බව සිතිය හැකි ය.

අනුරාධපුර අවධියෙන් පසු වැ රාජ අනුග්‍රහයෙන් වෛශාඛ පූජා පැවැත්වූ බවක් පැහැදිලි වැ නො පැනේ. එ වුව ද, මහා පරාක්‍රමබාහු රජු කළ මහ පින්කම් අතර වෙසක් උලෙළ ද ගැනේ. පූජාවලියෙහි …හවුරුදු පතා මලුකමක්, දළදා පූජාවක්, තුලාභාරයක්, වෙසක් කෙළියක්, දිය කෙළියක් යනාදී වූ සූ සැට මඟුල් කොට…යන පැවැසුමෙන් එ බව පැහැදිලි වේ. මෙහි දු වෙසක් කෙළියක් යැයි දක්වා ඇතියෙන් ඒ රජු ද මහෝත්කර්ෂයෙන් වෙසක් පුද පවත්වා ඇතැ යි පෙනේ.

දඹදෙණි අවදියෙහි දී රජුන් වෙසක් උලෙළ පැවැත්වූ බවට ඉඳුරා සාක්ෂ්‍ය නැති වුව ද දෙවන පැරැකුම්බා රජු අතිවිචිත්‍ර ලෙස පවත්වා ඇති බොහෝ පින්කම් පිළිබඳ වර්ණනනාත්මක ප්‍රවෘත්ති අනුව ඔහු විසින් වෙසක් උලෙළ ද පවත්වන්නට ඇතැයි නිසැක වැ සිතිය හැකි ය.

පසු කල්හි රජුන් වෙසක් උලෙළ පවත්වනු පිණිස උත්සුක වූ අයුරු ඉතිහාසයෙහි නො දැක්වේ. එය රාජකීය අනුග්‍රහයෙන් අනුක්‍රමයෙන් ගිලිහී ගොස් මහජනයාගේ උලෙළක් බවට පත් වූ අයුරු පෙනී යයි. ක්‍රෛස්තව සංස්කෘතිය ආශ්‍රයෙන් සකස් වැ ගත් බැති ගී (කැරොල්), සුබ පැතුම් පත්, නොයෙක් සැරැසිලි ආදිය එයට එක් ව දැන් පවත්නා පරිදි වෙසක් උලෙළ හැඩ ගැසී ඇත්තේ ය. යට කියැවුණු සේ, මෙ රට රජයත් බුදු සමයත් එකිනෙක බැඳී පැවැති අවදියේ දී වෛශාඛ පූජෝත්සවය ද රාජකීය කාර්යයක් ව පැවැතී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com