සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (18 වැනිදා) ප.ව. 1.40ට මෙල්බන්හිදී ආරම්භ වේ.
දෙරට අතර පැවැති මුල් තරග තුනම සත්කාරක ඔස්ට්‍රේලියාව ජයගෙන තිබීම හමුවේ අද තරගය ශ්‍රී ලංකාවට ගෞරවය බේරා ගැනීමේ සටනක් වනු නොඅනුමානය.
ඔස්ට්‍රේලියාව හමුවේ අවසන් වරට පැවැති විස්සයි විස්ස තරග 08ම ශ්‍රී ලංකාව පරාජය වී තිබුණද, මේ දක්වා මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැති තරග තුනකින් ශ්‍රී ලංකාව දෙකක් ජයගෙන තිබීම විශේෂත්වයකි. මෙල්බන් සැලකෙන්නේ විදෙස් රටකදී වැඩිම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් එක්වන ක්‍රීඩාංගණය ලෙසිනි.
කල් තියා 3-0කින් තරගාවලි ජය තහවුරුකරගෙන සිටින ඔස්ට්‍රේලියාව අද තරගයේදී සිය වේග පන්දු යැවීමේ ප්‍රබල තුරුම්පු වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක් සහ ජෝස් හෙස්ල්වුඩ් විවේක ගන්වා තිබේ. අදාළ ඉදිරිපෙළ සුපිරි පන්දු යවන්නන් ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තාන සංචාරය වෙනුවෙන් විවේක ගැන්වූ බව නායක එරන් ෆින්ච් පවසා තිබේ.
ජෝස් හෙස්ල්වුඩ් යනු දෙරට අතර නිමාවට පත් වූ තරග තුනේදී වැඩිම කඩුලු ලාභියා (කඩුලු 08) වන අතර එකී දක්ෂතා හමුවේ නවතම විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණියේ දෙවැනි ස්ථානය දක්වාද ඔහු ඉදිරියට පැමිණියේය.
කෙසේ නමුත් ඊයේ (17 වැනිදා) හවස්වනතුරුත් ඔස්ට්‍රේලියානු අවසන් සංචිතය නම්කර නොතිබුණු අතර දෙවැනි තරගයේ විවේක ගැන්වූ ඇඩම් සම්පා අද තරගයේදී කණ්ඩායමට එක්වනු ඇතැයි සඳහන් වේ.
දෙරට අතර පැවැති තුන්වැනි තරගයේදී උදරය ආශ්රිත ප්‍රදේශයේ මස්පිඬු ඉරීයාමකට ලක් වූ නුවන් තුෂාරට සහ කොවිඩ් වයිරසය අසාදනය වූ වනිඳු හසරංගට තරගාවලියේ ඉතිරි තරග අහිමි වී යනු ඇත. පළමු තරගයෙන් අනතුරුව කොවිඩ් වයිරසය අසාදනය වූ බිනුර ප්‍රනාන්දුටද අද තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොපවතින අතර අනිද්දා (20වැනිදා) පැවැත්වෙන තරගයේදී ඔහුට යම් අවස්ථාවක් පවතින බව සැලවේ.
මේ අතර පළමු, දෙවැනි හා තුන්වැනි තරගයන්හිදී පිළිවෙළින් ලකුණු 01ක්, 00ක් සහ 09ක් වශයෙන් රැස්කරමින් ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වී සිටින ධනුෂ්ක ගුණතිලකට අද තරගයේදීත් අවස්ථාවක් හිමි වීමේ ඉඩක් පවතින බව සැල විය. කෙසේ නමුත් ඊයේ (17 වැනිදා) පස්වරුව වන තුරුත් ශ්‍රී ලංකා අවසන් සංචිතය නිල වශයෙන් නම්කර නොතිබුණි.
අනුමාන කෙරෙන ශ්‍රී ලංකා සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩ්‍රසේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ශිරාන් ප්‍රනාන්දු
අනුමාන කෙරෙන ඔස්ට්‍රේලියානු සංචිතය – ඇෂ්ටන් ආගර්, බෙන් මැක්ඩර්මොට්, එරන් ෆින්ච් (නායක), ජොස් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩැනියෙල් සෑම්ස්, ජයි රිචඩ්සන්, ඇඩම් සැම්පා, කේන් රිචඩ්සන්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්