ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට තරයේ අවවාද කරයි

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබෙනවා.

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බවයි ශ්‍රී ලංකා මහ බංකුව අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවක් වන බවයි.

එබැවින් ඉහත කී නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට තරයේ අවවාද කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com