සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23 වැනිදා) රාත්‍රි 11.00 ට කාඩිෆ්හිදී ආරම්භ වේ.
දෙරට අතර මෙතෙක් පවත්වා තිබෙන විස්සයි විස්ස තරග සංඛ්‍යාව 9ක් වන අතර එයින් ශ්‍රී ලංකාව තරග 4කුත්, එංගලන්තය තරග 5කුත් ජයගෙන ඇත. අද (23 වැනිදා) තරගය ජයගතහොත් අදාළ ජයග්‍රහණ සංඛ්‍යාව 5ක් වශයෙන් එංගලන්තය හා සමතැන් ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
කෙසේ නමුත් අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග 11කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. එයින් තවත් තරගයක් විසදුමකින් තොරව අවසන් වී ඇති අතර සෙසු තරග 9ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
එංගලන්තය විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණියේ අංක 1 ස්ථානයේ සිටිමින් අද (23 වැනිදා) තරගයට එක්වන අතර ශ්‍රී ලංකාව එම ශ්‍රේණියේ 08 වැනි ස්ථානයේ සිට තරගාවලිය හා එක්වේ.
ඊයේ (22 වැනිදා) තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා
‘විස්සයි විස්ස ශ්‍රේණියේ අපිට නැතිවෙන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ දෙයක් ඇතිකරගන්න විතරයි. නමුත් එංගලන්තයට නැති වෙන්න දෙයක් තියෙනවා. මේ තරගාවලියේදී ඒ පීඩනය ඔවුන්ට තියෙනවා’යි කියා සිටියේය.
අද (23 වැනිදා) තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව එහිදී කුසල් කීවේය. නමුත් පිතිකරුවන් හය දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පන්දු යවන්නන් තිදෙනෙක් සමගින් ශ්‍රී ලංකාව අද තරගය සඳහා සහභාගි වේ.
යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායම හා එක්ව සිටින බැවින්, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ආරම්භක පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතී. එසේ වුවහොත් කුසල් පෙරේරා තුන්වැනි පිතිකරු වශයෙන් ක්‍රීඩා කරනු ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි කුසල් ‘එංගලන්තයට ඇවිල්ලා අපි දවස් 10ක් පමණ පුහුණුවීම් කළා. ඒ අතරේ පැවැති පුහුණු තරග දෙකේදී පිතිකරුවන්ගේ ධනාත්මක බව පේන්න තිබුණා. මේ තරගයේදීත් අපි බය නැතිව ක්‍රීඩා කිරීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. දවසින් දවස අපි ඒක හදාගත්තොත් එකේ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.’ යැයි කීවේය.
එංගලන්ත තණතීරු වේගයක් සහ ඉල්ලිප්පීමක් සහිත වුවත්, දඟ පන්දු යවන්නන්ටත් සහයක් ඇති බවට කුසල්ගේ විස්වාසයයි.
අද (23 වැනිදා) තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර උද්ගත වයිරස තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රේක්ෂකයන් සහිතව ක්‍රීඩා කරනු ලබන පළමු තරගය මෙය වේ. තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුහුණු සැසියට ඊයේ (22 වැනිදා) සහභාගි වූයේය.
ගයාශාන් විතානආරච්චි
එංගලන්ත සංචිතය
ඔයින් මෝර්ගන් (නායක), මොයින් අලී, ජොනී බෙයාස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, ටොම් කරන්, සෑම් කරන්, ලියාම් ඩෝසන්, ක්‍රිස් ජොර්ඩන්, ලියාම් ලිවින්ග්ස්ටෝන්, ඩේවිඩ් මලාන්, අදිල් රශිඩ්, ජේසන් රෝයි, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාක් වූඩ්.
ශ්‍රී ලංකා සංචිතය
කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉශාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්