කාර්තික් ත්‍යාගිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අයි.පී.එල්. තරගාවලිය යටතේ පෙරේදා (21 වැනිදා) පැවැති තරගයේදී, පංජාබ් කිංග්ස් හමුවේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම, ලකුණු 02ක තියුණු ජයක් ලැබීය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 185ක ඉලක්කය හඹාගිය පංජාබ් කිංග්ස්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.
ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ සිටි පංජාබ් කණ්ඩායමට අවසන් පන්දුවාර 2කට අවශ්‍යව තිබුණේ ලකුණු 08ක් පමණි. මුස්ටෆිසුර් රෙහමාන් විසින් 19 වැනි පන්දුවාරය ලකුණු 04කට සීමා කිරීමත් සමග ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී පංජාබ් කණ්ඩායමට ලකුණු 04ක් අවශ්‍ය විය.
රාජස්තාන් රෝයල්ස් වෙනුවෙන් ලකුණු 04ක් බේරා ගැනීමේ අසීරු අභියෝගය 20 හැවිරිදි කාර්තික් ත්‍යාගි වෙත පැවරිණි. සිය පළමු පන්දුව නිලකුණු පන්දුවක් ලෙස යැවූ ත්‍යාගි යොමු කළ දෙවැනි පන්දුවට එයිඩ්න් මාක්‍රම් විසින් එක් ලකුණක් රැස්කර ගත්තේය.
අනතුරුව ක්‍රියාත්මක කෙරුණු තුන්වැනි පන්දුවෙන් වේගවත් පිති ප්‍රහාරයක නිතරව සිටි නිකොලස් පූරාන්ව ලකුණු 32කට දවා ගැනීමට ත්‍යාගිට හැකි විය. සිවුවැනි පන්දුවේදී නවක පිතිකරු දීපක් හූඩාට ලකුණු රැස් කිරීමේ අවස්ථාවක් නොවූ අතර පස්වැනි පන්දුවේදී හූඩා කඩුළු රැකි සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යාමෙන් තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වන තත්ත්වයක් කරා පැමිණියේය.
ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී පංජාබ් කණ්ඩායමට ලකුණු 3ක් අවශ්‍ය වුවද, පිටියට පිවිසි ෆෙබියන් ඇලන්ට එහිදී රැස්කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි. අදාළ දක්ෂතාව සමගින් ලකුණු 29කට කඩුළු 2ක් දවාගත් කාර්තික් ත්‍යාගි තරගයේ වීරයා බවට පත් විය.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර කටයුතු කරනු ලබයි.
මෙම ජයත් සමගින් සහභාගි වූ තරග 8කින් 4ක් ජයගෙන සිටින රාජස්තාන් කණ්ඩායම් අතර පස්වැනි ස්ථානය දක්වා පැමිණියේය. තරග 9කින් 3ක් පමණක් ජයගෙන සිටින පංජාබ් 7 වැනි ස්ථානයේ පසු වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්