පසුගිය ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් යන දෙදෙනා තවදුරටත් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.
මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත භාර ගත කරන ලදී. අනතුරුව සිද්ධියට අදාළව නඩුව ගොණු කර ඇති කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් අද දින ඉදිරිපත් කරන ලෙසයි ඇය බන්ධනාගාරයට නියෝග කළේ.
ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් 2015ත් 2019ත් අතර කාලය තුළ සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්