අල් කයිඩා ප්‍රහාරකයන් ඇමෙරිකා එක්සත් ජනපදය ට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට අද දිනට වසර 20ක් සපිරෙනවා.
මගී ප්‍රවාහන ජෙට් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සැලැස්වීමෙන් දහස් ගණනකට ජීවිත අහිමි වු අතර මෙම ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙසයි එය සැලකෙන්නේ.
එක්සත් ජනපදයේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්වූ අතර ඒ සඳහා ක්‍රියාත්මක වී තිබුණේ කුඩා කණ්ඩායමක්.
නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගෙන තිබුණා.
නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සලස්වා තිබු අතර පළමු යානය උදෑසන 08.46ට ගැටුණේ උතුරුදිග කුළුණටයි.
දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ටයි.
මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.
උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර කොටසේ හමුදා මුලස්ථානය පිහිටි ප්‍රදේශයට කඩා වැදී තිබුනා.
පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුනා.
එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීමටයි ප්‍රහාරකයන් උත්සහ ගෙන තිබුනේ.
ප්‍රහාරකයන් 19 දෙනා සහ පුද්ගලයින් 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මෙම සිද්ධි මාලාවෙන් වැඩි පිරිසක් මරණයට පත්වී තිබුණේ නිව්යෝර්ක් නුවර දී.
ගුවන්යානා හතර තුළ සිටි සියලු මගීන් සහ කාර්ය මණ්ඩලයද මරණයට පත් වූනා.
.
නිව්යෝර්ක් නුවර ද්විත්ව ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයෙන් 2,606 දෙනෙක් මරණයට පත් වූ අතර පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 125ක්.
පළමු ගුවන් යානය ද්විත්ව ගොඩනැගිල්ලෙහි ගැටෙන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ 17,400 දෙනෙකු පමණ සිටි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
පළමු යානය ගැටුණු ස්ථානයට ඉහළින් පිහිටි මහල් තුළ සිටි කිසිවෙකුටත් දිවි බේරා ගැනීමට නොහැකිවුනා.
ජීවිතක්‍ෂයට පත්වූවන් අතර රටවල් 77කට අයත් පුරවැසියන් වන අතර, අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතුවල නිරත වී සිටි සේවකයන් 441 දෙනෙකුට ද දිවි අහමි වුනා.
අල් කයිඩා නමැති අන්තවාදී ඉස්ලාමීය ජාලය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කර තිබු අතර ගුවන් යානා පැහැර ගැනීම සඳහා 19 දෙනෙකු ක්‍රියාත්මක වී තිබුනේ කණ්ඩායම් හතරක් ලෙසයි.
ඒ, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තුනක් සහ හතර දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් ලෙසින්.
ප්‍රහාරකයන් 15 දෙනෙක් බින් ලාඩන් ද උපන්, සෞදි අරාබි ජාතිකයන්.
ප්‍රහාරකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් පුරවැසියන්.
ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු ඊජිප්තු ජාතිකයෙකු වූ අතර අනෙක් පුද්ගලයා ලෙබනන් ජාතිකයෙක්.
ප්‍රරහාරය සිදු වී මාසයක් ගත වන්නට පෙර එවක ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ගේ පාලනය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කලා.
මේ සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදාවක් යෙදවුණු අතර එම ආක්‍රමණයේ අරමුණ වූයේ අල් කයිඩා ජාලය තුරන් කිරීම සහ බින් ලාඩන් අල්ලා ගැනීමයි.
2011 වනතුරු බින් ලාඩන් අල්ලා ගැනීමට නොහැකි වූ අතර, ඔහු පකිස්ථානයේ සැඟව සිටියදී මරා දැමුණා.
සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලත් ඛලීඩ් ශේයිඛ් මොහමඩ් 2003 දී අත්අඩංගුවට පත් වූයේ පකිස්තානයේදී .
අල් කයිඩා තවමත් ක්‍රියාත්මක අතර උප සහරා අප්‍රිකානු රටවල එම සංවිධානය ඉතා ශක්තිමත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇෆ්ගනිස්ථානය තුළ ද මේවන විට එහි සාමාජිකයන් සිටින බව සඳහන්.
විසි වසරකට පසුව එක්සත් ජනපද හමුදා මේ වසරේදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ බැවින් අල් කයිඩා සංවිධානය නැවත වතාවක් ශක්තිමත් විය හැකි බවටයි විචාරකයන් පවසන්නේ.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නව රජය කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසු අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය අද පැවැත්වීමට සුදානම් බව වාර්තා වනවා.
බොහෝ විට 9/11 ප්‍රහාරයේ සංවත්සරයක් ලෙසින් පැවැත්වෙන මෙම උත්සවය සඳහා තලෙයිබාන් සංවිධානය ආරාධනා පත්‍ර යොමු කර ඇති බව වාර්තා වන්නේ.
දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ තලේබාන් අන්තර පාලන රජය නිල දැනුම්දීමක් සිදු කර නොමැති මුත් චීනය, තුර්කිය, පකිස්ථානය, ඉරානය, කටාර් සහ ඉන්දියාව වැනි රටවල් කිහිපයකට ආරාධනා ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් ධවල මන්දිරය නිවේදනය කළේ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය පිළිගැනීමට ඉක්මන් නොවිය යුතු බවයි.
තලේබාන් සංවිධානය පසුගිය අඟහරුවාදා සිය අතුරු කැබිනට් මණ්ඩලය නිවේදනය කළා.
කැබිනට් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුම එක්සත් ජනපදයේ අසාදු ලේඛනගත කර ඇති පිරිසට අයත්.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි