සිම්බාබ්වේ සමග තරගවදින ලංකා කණ්ඩායම

සංචාරක සිම්බාබ්වේ සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (13) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කෙරුණා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක වෙත ලබා දී තිබෙනවා. උප නායක ධනංජය ද සිල්වා පිය පදවිය ලබා ගැනීම නිසාවෙන් මේ තරගාවලියට සහභාගී නොවන අතර ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව සිම්බාබ්වේ තරගාවලියට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කිරීමට සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ සහ කමිල් මිශාර හට කොරෝනා වයිරසය ආසාදනය වී මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

නිරෝධායනයට ලක්වුණු ක්‍රීඩකයින් හැර ලහිරු කුමාර සහ කලන පෙරේරා යන ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙන නිසා ශිරාන් ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් වේගපන්දු යවන්නන් ලෙස සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගගේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොමැති නිසා මේ සංචිතය සඳහා ඔහු ඇතුළත් කර නැහැ.

පසුගිය දා නිමා වූ LPL තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර ඔහු පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ඇදී යාමකට ලක් වූ අතර එය දෙවැනි මට්ටමේ මස්පිඩු ඉරීයාමක් බවට පසුව හඳුනා ගැනුණා.

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය 2020-2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් වන අතර තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයින්: අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අශේන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු

WP Twitter Auto Publish Powered By : XYZScripts.com