රජය විසින් පනවා ඇති පාලන මිලට පාරිභෝගිකයින්ට විකිණීමට නොහැකි නම් සිල්ලර වෙළඳුන් මෝල් හිමියන්ගෙන් සහල් මිලදී ගැනීමෙන් වැළකී සිටිය යුතු බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
“කවුරු කොහොම මිලදී ගත්තත් මේ අවශ්‍ය නීතිමය වෙනස්කම් ටික කඩිනමින් වෙනස් කළාට පසු ලංකාවේ සිල්ලරට සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක මිල රුපියල් 100ට වඩා වැඩිවෙන්න දෙන්නෙම නෑ. කවර ජගතෙකුටවත් පොදු ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් 100ට වඩා වැඩියෙන් අලෙවි කරන්න ඉඩ දෙන්නේ නෑ.
එසේ අලෙවි කරන සිල්ලර වෙළෙන්දෙක් ඉන්නවා නම් ඒ සිල්ලර වෙළෙඳුන්ට මෙතක් කල් තිබුණ දඩය තමයි රුපියල් 2500. ඒ දඩය ලක්ෂය දක්වා වැඩිකරලා තියෙනවා පළවෙනි අවස්ථාවෙදි. දෙවැනි අවස්ථාවෙදි ඒ වරද කළොත් දඩය දෙලක්ෂය දක්වා වැඩිකරලා තියෙනවා. උපරිමය දස ලක්ෂය දක්වා වැඩි කරලා තියෙනවා. සමාගම්වලට දඩය කෝටිය දක්වා වැඩිකරලා තියෙනවා. ඒ අවශ්‍ය සංශෝධනය නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කරලා සඳුදා කැබිනට් මණ්ඩලයේදී කැබිනට් අනුමැතිය ලබාගත් වහාම එක ගැසට් කරනවා.
එතකොට සමහර අයට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම තියෙන්නෙ සිල්ලර වෙළෙන්දාට කියලා. සිල්ලර වෙළෙන්දා භාණ්ඩ නොගෙන හිටියාම ඉවරයි. රජය නියම කරලා තියෙන උපරිම මිලට වඩා වැඩිමිලට අලෙවි කරන්න වෙනවා නම් ඒ සහල් මිලදී නොගෙන ඉන්න. නොගෙන හිටියාම මෝල් හිමියො තමන් ළඟ තියෙන තොග නිකුත් නොකළොත් ඒ සඳහා මැදිහත් වෙන්න ඕනෙ කොහොමද කියන එක ආණ්ඩුව වශයෙන් අපි ක්‍රියාත්මක වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
- Lanka news web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්