මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු විවිධ ක්ෂේත්රවල පාර්ශ්වයන් රැසක් සිය සංවේගයන් පළ කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම අභාවප්‍රාප්ත වී තිබුණි.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ,
“කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි,” යනුවෙනි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා,
“ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. ලංකාවේ සංගීත ක්ෂේත්රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ හෙතෙම, තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිවිටක පසුබට වූයේ නැත.”
“මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇත. ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් මගේ සංවේගය ප්‍රකාශ කරමි. සුනිල් පෙරේරා කලාකරුවා පැතූ ආත්ම විමුක්තිය හිමි වේවා!”
මේ අතර ප්‍රවීණ කලාකරු, ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරන්නේ,
“කොරෝනා ව්‍යසනයෙන් සුනිල් පෙරේරා කලාකරුවා අප අතරින් හදිසියේ වෙන්වීම මහා දුකක්. ඔහු වෙනත් ස්වභාවිකව දොරකින් අප අතරින් වියෝ වුණා නම් ඒ ගැන ගැටලුවක් නෑ. නමුත් මේ කොරෝනා ව්‍යසනයෙන් ඔහු අපි අතරෙන් වියෝවීම දරාගන්න බැරි දෙයක්,” යනුවෙනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ