තත්ත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබෙන මිල අඛණ්ඩව තුන්වන මාසයටත් පහත බැස ඇත. ජූලි මාසයේදී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත. අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මකභාවය තත්වයෙන් බාල තේ දළුවලින් ලබා ගත නොහැකිව ඇත.
තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීම වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතුය. අපනයන ආදායමේ හදවත බඳු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වනවිට තේ වගාව දැඩි පරිහානියකට ලක්ව තිබේ. පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ. කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීමද ඇරඹී ඇත.
වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර නොලැබේ. වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි. තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.
අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි. කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.
කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍රයේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී. එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනයට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත.
කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්ත්වය මේ වනවිට පහත වැටී ඇතැයිද තෙන්නකෝන් මහතාගේ නිවේදනයේ දැක්වේ.
——-LankaNewsWeb———
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්