ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද (01) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩපණ වී තිබේ.
ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව වර්ජනය නිසා පත්වූයේ දැඩි අපහසුතාවයකටය.
මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව අද උදෑසන 7 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.
වර්ජනයට හේතු වු කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
*හෙද නිලධාරින් වසර 5න් 5ට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම
* දින 6ක සේවා සතිය වෙනුවට රජයේ අනෙකුත් සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම.
*කොවිඩ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම.
කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන, මතෘ හා ළමා රෝහල් මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල හැර දිවයිනේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල අද වර්ජනයට එක්ව සිටියේය.
එලෙස විශේෂිත රෝහල්වල සේවයට එක්වූ හෙද කාර්ය මණ්ඩල ද අද සේවයට වාර්තා කළේ නිල ඇඳුම් නොඇඳ අත්සන් කිරීමකින් තොරව ස්වෙච්ඡාවෙනි.
වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල්වල සේවා අඩපණ ව තිබුණි.
වැඩවර්ජනය නිසා බාහිර රෝගි ප්‍රතිකාර සේවා මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී සේවාවලට ද එල්ල වූයේ දැඩි බලපෑමක්.
ඒ පිළිබඳ ජනතාව දැක්වුයේ මෙවන් අදහස්ය.
“5 ඉදලා ඇවිල්ලා බලාගෙන ඉන්නේ මෙතෙන.“
“හෙදියෝ ලෙඩවෙලා ඉන්නේ ඊයේ රෑ ඉදලා ප්‍රවෘත්තිවලට දැම්මා ඒ අයට පඩි දුන්නේ නෑලු. ඒක ඉතින් ඇමති තුමිය දැනගන්න එපැයි.“
“මොනවා කරන්නද අපිට හෙට බොන්න බෙහෙතුත් නෑ.“
“වාහනේ ට 4000ක් මතුගම ඉදලා.“
“අද මගේ ලේ ගන්න තියෙන්නේ. ඔක්කෝම අය ස්ට්‍රයික් එකක් අපි හැරිලා යනවා ඉතින්.“
මේ අතර බදුල්ල පළාත් මහ රෝහලේ පිළිකා සායනයට පැමිණි රෝගියෙකු අද සිහිසුන්ව ඇද වැටුණි.
මේ පිළිබඳ අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, පිළිකා සඳහා එන්නත් ලබාගැනීමට සායනයට පැමිණි 50දෙනෙකු පමණ සිටි බවය.
“ඔවුන්ට එන්නත් ලබාදීම හෙද කාර්ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරා දැක්කා. ඒ අවස්ථාවේ එක රෝගියෙක් එතැන ඇදගෙන වැටුණා. නමුත් ඒ වෙලාවේ වෛද්‍යවරු කණ්ඩායමක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා මෙම එන්නත ලබාදෙන්න.“
හෙද වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද දිනය පුරා මෙන්ම හෙටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්