2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ණය බර ට්‍රිලියන 28 දක්වා ඉහළ යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.
වත්මන් ආණ්ඩුව රට භාරගන්නා විට ණයගැතිභාවය ට්‍රිලියන 13 ක මට්ටමේ පැවති අතර වසර පහ අවසන් වනවිට එය දෙගුණයකින් ඉහළ යන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
”2020 අවුරුද්ද ගැන විවිධාකාර අර්ථකථන දෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට නම් හොද්දට කහ නැති රටක්, පොල්ගෙඩිය ටේප් එකෙන් මැනපු රටක්. ජනාධිපතිතුමාගේ ධුර කාලය අවසාන වන 2024දී ලංකාවේ ණය ගැතිභාවය ට්‍රිලියන 28 දක්වා ඉහළ යනවා. භාරගත්තේ 13 න් මේ වසර පහ ඇතුලත දෙගුණයක් වෙනවා මේ ප්‍රවණතාව දිගටම පවත්වාගෙන ගියොත්. ඒ නිසා රටේ ඇත්ත අර්බුදය ඉලක්කම් විජ්ජාවලින් නොවසා භාරගත යුතු වෙනවා.”
වසර 70කට පසු අඩුම ආර්ථික වර්ධනය තිබෙන වසර ලෙසත් වැඩිම අයවැය පරතරය පවතින රට ලෙසත්, අඩුම ආදායම් ප්‍රතිශතය පවතින රටක් ලෙසත්, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල පහළම තත්ත්වයට ඇද වැටී තිබෙන තත්ත්වයක 2021 වන විට තවදුරටත් රට පහළටම වැටෙන බවයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසු වසරක් ලෙසත් ඉතිහාසයට එකතුවෙන අතර එය රු.බිලියන 500කට වැඩි බවයි ඔහු සඳහන් කළේ. එය රාජ්‍ය අදායමින් 40%ක පමණ ප්‍රමාණයක් වන බව හෙතෙම පැවසුවේය.
ඒ අනුව රට සෞභාග්‍යයේ දේශයක් නොව අභාග්‍යයේ මුඩු බිමක් කරා යමින් තිබෙන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
කොවිඩ්වලට කලගෙඩි විසඳුම් නැහැ මෙන්ම ආර්ථිකයටද ඉලක්කම් විජ්ජා නොගැළපෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
එම නිසා යතාර්ථය පිළිගෙන පාර්ලිමේන්තුවට ඇත්ත කියා ඉන්නා තැනින් ඉදිරියට යනවා මිස ඇත්ත කියන නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ පූල් එකට දමා මෙම ප්රශ්නය විසඳිය නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්