ඇමරිකාවේ ටයිම්ස් සගරාව මගින් 2020 “වසරේ හොදම ළමයා” ලෙස වයස අවුරුදු 15 ක් වන ගීතාංජලී රාඕ නම් කර තිබෙනවා.ටයිම්ස් සගරාව “වසරේ හොදම ළමයා” තෝරා ගැනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඇය දක්ෂ විද්‍යාඥවරියක්.එමෙන්ම ලෝකයට අභියෝග කරන නවෝත්පාදන නිර්මාණය කරන ශිල්පිනියක් .රාඕ ඉන්දියානු සම්භවයක් ඇති ඇමෙරිකාවේ කොලරාඩෝ හි පදිංචි දැරියක්.මේ වන විට ඇය මැසචුසෙට් තාක්ෂණ විද්‍යා ආයතනයේ ශිෂ්‍යාවක් ද වනවා .එහි ජාන විද්‍යාව පිළිබඳ ඇය වැඩිදුරටත් අධ්‍යාපනය ලබනවා.
ගීතාංජලී රාඕ වයස අවුරුදු 10 දී නව නිපැයුම් වෙනුවෙන් පර්යේෂණ සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.මිචිගන් හි ෆ්ලින්ට් නුවර ජනතාව මුහුණු දුන් පානීය ජල ප්‍රශ්නය පිළිබඳව ඇයට දැන ගැනීමට ලැබන්නේ මේ කාලය තුළ දී.ජලයට ඊයම් එකතු වීමෙන් මෙම ජලය විෂ වී ඇති බව දැන ගත් ඇය ජලයේ ඊයම් වැනි රසායන හදුනා ගැනීමට උපකරණයක් නිර්මාණය කිරීමට සමත් වුණා.ඒ සමගම 2017 දී ඇය ඇමරිකාවේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙස සම්මානයට ද පාත්‍ර වුණා.එමෙන්ම එම වසරේදීම “ෆෝබ්ස් සඟරාවේ” මගින් ප්‍රකාශයට පත් කළ වයස අවුරුදු 30 ට අඩු ලොවට වඩා යහපතක් ඇති කරන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ද ඇය ඇතුළත් වූණා.
2019 දී ‘පිලර්’ සම්මානයෙන් ද මේ කුඩා දැරිය පිදුම් ලැබුවා.ඒ “ඔපොයිඩ්” වේදනානාශකවලට ඇබ්බැහිවූවන් හඳුනා ගැනීමේ මෙවලමක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ලෝකයේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ එළිදක්වන ‘ටෙඩෙක්ස්’ සමුළුවට සහභාගී වෙමින් එම සමුළුව තෙවරක්ම අමතන්නට ද ඇයට හැකි වුණා .
මෑතකදී, රාඕ විසින් Kindly නමින් දුරකථන සහ වෙබ් මෙවලමක් නිර්මාණය කර ඇති අතර එමගින් සයිබර් හිරිහැර හදුනා ගත හැකි වේ.ඒ සදහා කෘතිම බුද්ධි තාක්ෂණය භාවිතා කර ඇත. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳව ද ඇය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.නිරීක්ෂණය ,පරීක්ෂණය හා සන්නිවේදනය තුළ නිරතුරු යෙදීම තුළ බොහෝ දේ කළ හැකි බව ඇයගේ අදහසයි .කරන්නට බැරි කිසිවක් මෙලොව නොමැති බව ඇය දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.
සැබෑ ලෝකයේ පවතින ගැටලු වලට විද්‍යාව තුළින් විසදුම් සෙවීම ඇයගේ අරමුණයි.එසේම අන් අය ද ඒ සදහා යොමු කරවීමට ඇය අපේක්ෂා කරනවා.නවෝත්පාදන ප්‍රවර්ධනය කළ යුතු යුගයක ඇය ඒ සදහා විශේෂ උත්ප්‍රේරකයක් සපයන බවයි විචාරකයන් ද පවසන්නේ.
එමෙන්ම ටයිම්ස් සගරාව සිදු කළ මෙම ඇගයීම ළමා පරපුරේ නවෝත්පාදන සංවර්ධනයට ද අභිප්‍රේරණයක් සපයනු ඇති.
-ධීරේ –
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය