භූමි ප්‍රමාණය අනුව ද ජනසංඛ්‍යාව අනුව ද පාකිස්ථානය දකුණු ආසියාවේ දෙවැනි විශාලතම රට වේ. ජාත්‍යන්තර වෙළෙඳපොළට බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කරන, සැලකිය යුතු අපනයන ආර්ථිකයක් ඇති රටකි. කිහිප වරක්ම ඉන්දියාව සමග යුද වැදුණු, යුද ශක්තිය අතින්ද ප්‍රබල තත්ත්වයක සිටින රටකි. එම රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම ඉදිරිපත් කර දැන් බොහෝ කලක් ගත වන නමුදු තවමත් එම රටට මාණ්ඩලික මට්ටමේ ගිවිසුම හෝ අත්සන් කිරීමට නොහැකි වී ඇත.
එහෙත් ශ්‍රී ලංකාව විසින් ඉල්ලන ලද ණය මුදල පෙරේදා රාත්‍රියේ දී (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය. ඒ අනුව එහි පළමු වාරිකය අද (22) දින ලැබීමට නියමිතය. පාකිස්ථානය බංකොළොත් බව ප්‍රකාශයට පත් කර නැත. එහෙත් විදේශ විනිමය හිඟය නිසා ඉතා ඉක්මනින් IMF ණය මුදල නොලැබුණොත් එම රටට අනිවාර්යයෙන්ම බංකොළොත් බව ප්‍රකාශ කිරීමට සිදු වන බවට සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර ඇත. ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් කර දැන් මාස 10ක් ගත වී තිබේ. එසේ වුව ද ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය මුදල ප්‍රදානය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බංකොළොත්භාවය පිළිබඳ ප්‍රකාශය අවලංගු වනු ඇත.
IMF ණය මුදල අනුමත කිරීම කවර අතින් වුවද හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටි මහා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තුඩු දෙන මහා පිම්මක් ලෙසය. අති විශාල ජයග්‍රහණයක් ලෙසය. අද ජීවත්වන ජනතාවට මෙන්ම අනාගත දරු පරපුරට ජීවත් වීම සඳහා රටක් ඉතිරි කර දීමක් ලෙසය.

බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සමග විධිමත්, දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකට හෝ ආධාර වැඩපිළිවෙළකට කිසිම හෝ රටක් හෝ ආයතනයක් ඉදිරිපත් වූයේ නැත. ඉන්දියාව සහ චීනය වැනි රටවල් ශ්‍රී ලංකාවට භාණ්ඩ හුවමාරු ණය ලබා දීමට ඉදිරිපත් විය. ඒ අතරම ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සමහර රටවල සමහර මූල්‍ය ආයතන විසින් නොපිළිගන්නා තත්ත්වයක් ද ආනයනය සඳහා නිකුත් කරනු ලබන ණයවර ලිපි ඒ ආකාරයටම සමහර රටවල නොපිළිගන්නා තත්ත්වක් ද උද්ගතව තිබිණ.

බංකොළොත්බව පිළිබඳ ප්‍රකාශය නිකුත් කරන විට ශ්‍රී ලංකාව තුළ විදේශ ණය ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර තිබුණි. කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය ආදිය මේ වන විට නවතා දමා තිබේ. එයට හේතුව බොහෝ රටවල් එම රටවල ණය ආධාර යටතේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නවතා දමනු ලැබීමයි.

IMF ණය මුදල ලැබීම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සියලු‍ ආර්ථික ප්‍රශ්න සැනෙකින් අතුරුදන් වී ඒ වෙනුවට මහා සංවර්ධනයක් එකවර ප්‍රාදුර්භූත වීමක්යයි නොසිතිය යුතුය. එසේ වුවද දැන් අප මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්නවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තවත් කෙටි කාලයක් තුළ දී විසඳා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස මේ වනවිට නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට, වෙළෙඳ කටයුතු පවත්වාගෙන යෑමට අදිමදි කරමින් සිටි රටවල් සහ ආයතන යළිත් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීම ආරම්භ කරනු ඇත. ශ්‍රී ලංකා රුපියල මේ මස මුල් කාල වකවානුව තුළ සැලකිය යුතු මට්ටමකින් අධිප්‍රමාණය වී තිබුණ ද පසුව නැවතත් අවප්‍රමාණය වීමට පටන් ගත්තේය.
එහෙත් අදින් පසු මූල්‍ය වෙළෙඳපොළ තුළ රුපියලේ අගය ඉහළ ගොස් ඩොලරයේ මිල පහළ වැටෙනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ රුපියලේ අගය ඉහළ ගොස් ඩොලරයේ අගය රුපියල් 185 සිට 200 දක්වා මට්ටමක ඉදිරියේ දී තීරණය වනු ඇති බවයි. රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය අඩු වන විට තෙල්, ගෑස්, පාන් පිටි, කිරි පිටි සහ අනෙකුත් ආනයනික ද්‍රව්‍යවල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර එහි වාසිය රටේ මහජනතාවට හිමිවනු ඇත.

බොහෝ දෙනකු බලාපොරොත්තුව සිටියේ ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලබා ගැනීම සඳහා බොහෝ කාලයක් ගතවනු ඇතැයි යනුවෙනි. ඒ අතරම සමහරුන් ප්‍රකාශ කළේ ද ප්‍රාර්ථනා කළේ ද ශ්‍රී ලංකාවට එම ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන්නයි. එවැනි බාධක පසුගිය කාල පරිච්ඡේදය තුළදීම දකින්ට ලැබුණි. ඉන්දියාව මුල් අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනද සහතික වීම්ද අරමුදල වෙත යවනු ලැබීය.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල එකතුවක් වන පැරිස් සමාජය ද ඒ සඳහා සිය එකඟතා ලබා දෙමින් එම ලියකියවිලිද ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් චීනය මුල් අවස්ථාවේ දී එකඟ වූයේ ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය මුදල් වසර දෙකක් සඳහා අත්හිටුවීමට පමණි. මැදි කාලීන සහ දිගු කාලීන ණය පිළිබඳව එම ප්‍රකාශයේ කිසිවක් සඳහන් නොවීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ චීනය විසින් ද අනෙක් රටවල් මෙන් සමස්ත ණය ප්‍රමාණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ වන තුරු ණය මුදල අනුමත කළ නොහැකි බවය. රජය මේ සම්බන්ධයෙන් චීනය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අවසානයේ දී චීනය මුළු ණය මුදලම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා තම එකඟතාව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය මුදල අනුමත කිරීමෙන් පසු අනෙක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ද රටවල් විසින් ද ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමට ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ද ඉදිරිපත් වනු ඇත. 2021 වසරේ දී ශ්‍රී ලංකාව ඒ දක්වා අත්විඳ නැති ආකාරයේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර 2022 වසරේ දී එය අතිශය දරුණු තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ගොඩනැගීමට නම් රට විදේශ ආයෝජකයන්ගේ අවධානයට යොමු විය යුතුව ඇත. එසේ වුව ද 2021 වසරින් ආරම්භ වී 2022 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ආයෝජන ප්‍රමාණය විශාල ලෙස පහළ ගියේය.

ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් පසු රටට සැලකිය යුතු මට්ටමක ආයෝජන රැගෙන එකදු ආයෝජකයකු හෝ පැමිණියේ නැත. බංකොළොත්බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපේ රටට විදේශ ආයෝජන පැමිණියේයැයි යන්තමින් සැක සන්කාවක් හෝ ඇති කර ගැනීමට හේතුවක් තිබුණේ නැත.

බංකොළොත් රටවල මුදල් ආයෝජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. කොළඹ වරාය නගරය ආයෝජකයන් පිළිගැනීම සඳහා සියලු‍ කටයුතු සම්පූර්ණ කර බලා සිටිය ද කෝවිඞ් අර්බුදය හා පසුව ඇතිවූ ආර්ථික අර්බුදය ඒවා ප්‍රමාද කිරීම සඳහා බොහෝ දුරට හේතු වුයේය. අද වන විට විදේශ ආයෝජකයෝ බොහෝ පිරිසක් වරාය නගරය ඇතුළු ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිති.

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පෙරේදා කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවල පළ වි තිබුණි. ඔහු ප්‍රකාශ කර තිබුණේ IMF ණය මුදල අනුමත නොවුණොත් තවත් සති දෙකක්වත් ශ්‍රී ලංකාව පවත්වාගෙන යෑමට නොහැකි බවයි. විපක්ෂයේ ඇතැම් නායකයෝ IMF විසින් ණය මුදල අනුමත නොකරන තත්ත්වයක් ඇතිවේයැයි අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වූයේනම් වැළලී යනු ඇත්තේ රට සහ මහජනතාව පමණක් නොව එවැනි ප්‍රකාශ කරන දේශපාලනඥයන් ද දේශපාලන වශයෙන් වැළලී යෑමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාවට ණය මුදල් අනුමත කිරීමට නම් ශ්‍රී ලංකාව විසින් පිළිපැදිය යුතු කොන්දේසි කවරේද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මීට පෙර ප්‍රකාශ කර සිටියේ IMF ණය මුදල අනුමත වීමෙන් පසු රජය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රටට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට එය සම්මත කරගත හැකි බවත් අවශ්‍ය නොවන්නේ නම් පාර්ලිමේන්තුවට එය පරාජය කර දැමිය හැකි බවත්ය.

මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට එක් අභියෝගයක් ඉදිරිපත් කළේය. රට මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂවලට විකල්ප යෝජනා තිබේනම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ලෙසය. කිසිදු දේශපාලන පක්ෂයක් මේ දක්වා එකදු යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපගේ ආර්ථිකය බිඳ වැටීමට තුඩු දුන් හේතුව ඉතා ලු‍හුඬින් විස්තර කළේ ‘ණයට ගෙන මඟු‍ල් කෑමක්‘ ලෙසය. එම ප්‍රතිපත්තියෙන් බැහැරව සෑම දෙනාගේම කැපවීම සහ ශක්තිය මත ගොඩ නගන, රටට ස්ථාවරත්වය ගෙන එන, නිෂ්පාදන ආර්ථිකයකට මුල පිරීම සඳහා දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
copy by lankadeepa

WP Twitter Auto Publish Powered By : XYZScripts.com