සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ හේතුවක් දිලීප පීරිස් පාස්කු කොමිසමේදී කියයි

2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මන්සන්දියේ ඇතිවු ගැටුමෙන් පසු පොලිස් නිලධාරින්ට සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි යම් දේශපාලන බලපෑමක් හේතු වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති ගොණු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව සදහන්කරන ලදී.

මේ අතර සහරාන් හෂීම් සහ ජාතික තවිහිද් ජමාත් සංවිධානයට එරෙහිව නෛතික උපදෙස් ලබාගැනීම සදහා පාස්කු ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට එවු ගොනු දෙකක් සම්බන්ධයෙන් ඊයේ දින ජනාධිපති කොමිසම සාක්ෂි විමසුම සිදු කළ අතර එහිදි අදාළ ලිපි ගොනුව භාරව කටයුතු කළ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතාගේ අධීක්ෂණ නිලධාරියාව කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සාක්ෂි දෙනු ලැබීය.

ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පළමුව විමසා සිටියේ ඉස්ලාම් අන්තවාදය පිළිබද සදහන් වු ගොණුවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඉස්ලාම් භක්තිකයෙක්ම යෙදවීම සුදුසු ක්‍රියාවක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ ” ස්වාමිනි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යොමුකළ ඒ පළමු ගොනුවේ තිබුනේ දෙමළ බසින් කරපු ප්‍රකාශ 2 ක් සහ Screenshort කිහිපයක්. දෙමළ භාෂාවෙන් ඒ ප්‍රකාශ තිබුන නිසයි මම මාලික් අසීස්ට යොමු කළේ. මට හිතුණා ඉල්ලාම් අන්තවාදි අදහස් තිබුණ නිසා ඉස්ලාම් ධර්මය ගැන දැනුම තියෙන කෙනෙක්ව ගොනුව භාරව යෙදවීමම හොදයි කියලා. මොකද මම ඉස්ලාම් භක්තිකයෙක් වුනාට මට තියෙන්නේ ඉතා සීමිත ආගමික දැනුමක් ” යන්නයි.

එහිදි අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසා සිටියේ ඔබ මෙම ගොනුව මාලික් අසීස් මහතාට ලබාදීමෙන් පසු ඒ පිළිබද යළි සොයාබැලීමක් සිදුකළේද යන්න පිළිබඳවය.

” නැහැ ස්වාමිනි. අප්‍ර්ල් 21ත්‍රස්ත ප්‍රහාරය අවසන් වෙලා සති දෙකක් තුනක් යනකං ඒ පිළිබද මගේ අවදානය යොමු වුනේ නැහැ. මොකද ස්වාමිනි ඒ කාලේ වෙද්දි මම මහාධිකරණයේ නඩු 500 ක් සහ ලමා අපචාර සම්බන්ධ නඩු 3000ක් පමණ මෙහෙයවීම භාරව කටයුතු කළා. අනික ස්වාමිනි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවපු මේ පළමු සහ දෙවැනි ගොනුවල නෛතික උපදෙස් දෙන්න තරම් ප්‍රමාණවත් කරුණු අන්තර්ගත වෙලා නැහැ. තෙවන ගොනුවේ නම් ඉතා වැදගත් තොරතුරු තියෙනවා. එක අපිට ලැබෙන්නේ ප්‍රහාරයෙන් පස්සේ මැයි 06 වනදා ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේය.

එහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විමසා සිටියේ, ඔබ මෙම ගොණුව කනිෂ්ඨ නිලධාරියෙකුට යොමු කිරීමෙන් පසු යම් සොයාබැලීමක් සිදුකළේ නම් යම්තාක් දුරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා නොවේද යන්නයි.

” ස්වාමිනි, මේක හරි වැරදි වැඩක්. ඒ වගේම අසාධාරණයි. මලික් අසීස් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ දුන්න සාක්ෂිය වැරදි වටහා ගැනීමකට අරන් මතයක් හැදුනා මේ ගොණුව සම්බන්ධයෙන් කටයුතු නොකළ නිසයි ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුණේ කියලා. ඒක නිසයි මම ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ ගැන සාක්ෂි දුන්නේ. මම ඉස්ලාම් වුනාට මමත් ගියේ ක්‍රිස්තියානි පාසලකට, මගේ දරුවෝ අදටත් යන්නේ ක්‍රිස්තියානි පාසල්වලට. මේ ගොණුවේ ප්‍රමාදයයි පාස්කු ප්‍රහාරයයි සම්බන්ධ කරන එක සාධාරණ නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න. අනික බොහෝ අවස්ථාවල සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පෙර නීතිපති උපදෙස් පැතීමක් සිදුවෙන්නේ නැහැ. සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරන්නැයි නීතිපති උපදෙස් ගන්නේ. එහෙම බලද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අපි උපදෙස් දුන්නත් නැතත්, එයාලා සහරාන් අල්ලන්න වරෙන්තු දෙකක් අරන් තියෙනවා. එහෙම තිබිලත් අවුරුදු දෙකක් විතර යනකල් අත්අඩංගුවට ගන්න බැරි වුණ එකට අපිට චෝදනා කරන එක වැරදි ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂි දෙමින් පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය තවත් ගොණුවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

” ස්වාමිනී, කාන්තන්කුඩිය ප්‍රදේශයේ මවුලවිවරයෙක් ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබදව දිගින් දිගටම ලිපි මගින් වගකිවයුතු අංශ කිහිපයක් දැනුවත් කර තිබුණා. නීතිපතිවරයාට යොමුකළ අදාළ ලිපි සම්බන්ධයෙන් කටයුතු කළේ මම. මම ඒ මවුලවිවරයාගේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා. කොහොම වුනත් මවුලවිවරයා විසින් එවපු එක ලිපියක. 2017 මාර්තු 10 වෙනිදා අල්ලියාර් මන්සන්දියේ ඇතිව තිබුණ ගැටුමක් ගැන සදහන් වෙලා තිබ්බා. විශාල පිරිසක් අවි ආයුධ අතදරා ප්‍රචණ්ඩව හැසිරෙනවා, තුවල ලැබුවන් මහමග වැටී සිටින ආකාරයේ ඡායාරූපත් එහි අන්තර්ගත වෙලා තිබුණා. මට ප්‍රශ්නයක් ඇති වුණා මෙපමණ දෙයක් වෙනකං ප්‍රදේශයේ නීතිය හා සාමය භාර නිලධාරින් ගත්තු පියවර මොකක්ද කියලා. ඒ නිසා මම කාන්තන්කුඩිය පොලීසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරික්ෂක කස්තුරිආරච්චි නිලධාරියාව 2017 නොවැම්බර් 09 නීතිපති දෙපාර්තමේන්තුවට කැදෙව්වා. ඒ වෙද්දිත් ඔහු සිදුවීමට අදාළව යම් සාධනීය පියවර කිහිපයක් අරන් තිබ්බේ. ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අල්ලියාර් ගැටුමට සම්බන්ධ වුණ 09 දෙනෙක් අත්අඩංගුවට අරන් තිබුනේ. නමුත් සහරාන් සහ රිල්වාන් කියන සොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ඔහු මා හමුවේ සදහන් කළා. මම ඔවුන්වත් හැකි විගස අත්අඩංගුවට ගන්න කියලා උපදෙස් දුන්නා ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂි දුන්නා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔබ යම් හේතු විමසීමක් සිදුකළේද යන්නයි.

” ඔව් මම හේතු විමසුවා. ඔහු යම් පැකිලීමකින් පිළිතුරු දුන්නේ. යම් දේශපාලනික හේතුවක් තියෙනවා කියලා මට තේරුණා. ඒක ප්‍රාදේශීය වශයෙන් තිබ්බ සුවිශේෂි තත්ත්වයක් ” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com