මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමට එරෙහිව වාසු පෙරට

මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස දන්වන ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අගමැති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සංශෝධනය කරන බවට ඉදිරිපත් වූ අයවැය යෝජනාවට හාත්පසින් පරස්පරව ක්‍රියා කරමින් සිදු කරන්නට යෝජිත මේ ක්‍රියාව නිසා බරපතල මහජන අප්‍රසාදයක් ඇතිවිය හැකි ආකාරය ගැන වාසුදේව නානායක්කාර ඇමතිවරයා අගමැතිවරයාට පෙන්වා දෙයි.

ජනධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට පසුගිය දා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාව වසා දැමීමට ක්‍රියා කරන ලෙසයි. එම කොමිසන් සභාව වසා දැමීම තුළින් ගැටළු කිහිපයක්ම මතු වෙන බවත් එමගින් දැනට කරගෙන යනු ලබන හෝ යෝජිත පාරිභෝගික සේවා අඩාල වීමෙන් එහි අපකීර්තිය ඔබ තුමාට මෙන්ම රජයට එල්ල විය හැකි බව වාසුදේව මහතා එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මහජන උපයෝගීතා කොමිසන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි යළි සංශෝධනය කරන බවට අය වැය යෝජනා අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ කතාවට පරිබාහිරව යමින් ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියාමාර්ගයට අමාත්‍යවරයා අප්‍රසාදය පළකර සිටියි.

එම කොමිසම සෑම විටම ක්‍රියාකර ඇත්තේ පුරවැසියෙකුට ආරවුලක් ඇතිවුවහොත් බේරුම්කරණය හා සමථකරණය හරහා එම ගැටළුව විසඳා ගැනීමට යහපත් විසදුමක් ලබා දීම සඳහායි. විදුලි පාරිභෝගිකයා පමණක් නොව ජල සේවා සහ ඛණිජ තෙල් පාරිභෝගිකයාගේ ගැටළු විසදීම සඳහාද මහජන උපයෝගීතා කොමිසන් සභාව ඵලදායි ලෙස ක්‍රියාකර ඇති ආයතනයක් බව එම ලිපියේ සඳහන් වෙයි.

පසුගිය කාලය තුළදී අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාවට අනුමැතිය ලබා නොදී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මෙම කොමිසම ක්‍රියාකර ඇත. ඒ අනුව විදුලි,ජල සහ ඛණිජ තෙල් පාරිභෝගිකයා වෙනුවෙන් මෙම කොමිසම ආරක්ෂා කර ගත යුතුව ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් පියවර ගැනීම වහාම අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාල කොමිසමේ සාමාජිකයින්ට හමු වී කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවනු ලැබූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආරක්ෂා කරගත යුතු ආයතනයක්වන මෙම ආයතනය වසා දැමීමෙන් පාරිභෝගික සේවා අඩාල වී රජය අපකිර්තියට පත් විය හැකි බව දන්වන වාසුදේව නානායක්කාර ඇමතිවරයා ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය අත් හිටුවන ලෙසත් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධව කරුණු දැක්වීමට එම කොමිසමේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සාමාජිකයන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com