කොවිඩ් මරණ එක්ක ආණ්ඩුවත් විපක්ෂයත් ජන්ද එකතු කරනවා – සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න සෞඛ්‍ය බලධාරීන්ට ඉඩ දෙන්න

මේ වන විට කොවිඩ් මරණ ආදාහනය කිරීමද නැත්නම් භූමදානයද යන්න පිළිබඳ මතුව තිබෙන කාරණයේදී එය ජාති හෝ ආගමික ප්‍රශ්නයක් කර නොගෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස විසඳා ගත යුතු බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

එය ඉතා සරළව විසඳාගත හැකි ප්‍රශ්නයක් වන අතර එය දේශපාලන ප්‍රශ්නයක් කර නොගත යුතු බවයි උන්වහන්සේ අද (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මෙම මරණ ආදාහනය හෝ භූමදානය කිරීම යන ප්‍රශ්නයේදී ආණ්ඩුවත් විපක්ෂයත් සුළු ජාතික ජන්ද දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම ඉතාම නරක තත්ත්වයක් බවයි අභයතිස්ස හිමි කියාසිටියේ.

ආණ්ඩු පක්ෂය සුළු ජාතිකයින් සතුටු කිරීමට කුමක් හෝ කළ යුතුයි කියන මතවාදයේ සිටින අතර විපක්ෂය සුළු ජාතික ජන්ද තමන් වෙත නතු කර ගැනීම සඳහා ඔවුන් වෙත පෙනී සිටිය යුතු යැයි සිතන බව උන්වහන්සේ පැවසූහ.

”මෙතැනදී අපි අවුල් කර ගත්ත කාරණයක් තියෙනවා. සුළු ජාතික ජන්ද දිහා බලාගෙන තමන් තීන්දු තීරණ ගන්න කටයුතු කිරීම. මෙය ඉතාම නරක තත්ත්වයක්. එක පැත්තකින් ආණ්ඩු පක්ෂය සුළු ජාතිකයින් සතුටු කිරීමට කුමක් හෝ කළ යුතුයි කියන මතවාදයේ ඉන්නවා. ඒවගේම විපක්ෂය සුළු ජාතීන්ගේ ජන්ද තමාට නතු කර ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියල හිතනවා. ඇත්තවශයෙන්ම මෙය එහෙම කරන්න ඕන එකක් නෙවෙයි. අපි මේ වෙලාවේ බලන්න ඕනේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් මොකක්ද ඇත්තටම කළ යුත්තේ කියලා. ඒ නිසා අපි අක්රුනිකව ඉල්ලා සිටිනවා ආණ්ඩුවටත් විපක්ෂයටත් ඒ වගේම මේ අන්තවාදී කණ්ඩායම් වල විවිධ හස්තයන් හරහා ක්‍රියාත්මක වන කණ්ඩායම්වලටත් මේ සෞඛ්‍ය ප්‍රශ්නය ජාතික ගැටළුවක් ආගමික ගැටළුවක් බවට උඩු දුවන තත්ත්වයට පත්කරගන්න එපා.”

ආණ්ඩුවේ ඇමතිවරු පවා ජනතාව තමන් වෙත රඳවා ගැනීම සඳහා අන්තවාදීන්ගේ අරමුණ ඉටුකරගැනීමට හැකි වන පරිදි කතා කරමින් සිටින බවද අභයතිස්ස හිමියෝ කියාසිටියහ.

එමෙන්ම සෞඛ්‍ය ගැටලුව සෞඛ්‍ය ගැටළුවක් ලෙස විසඳා ගැනීමට නොහැකි නම් ඒ රටේ ජනතාවගේ ප්‍රඥාව ගැන නැවත සිතීමට සිදුවන බවද උන්වහන්සේ පැවසූහ.

සෞඛ්‍ය අංශවලට මේ ප්‍රශ්නය විසඳ ගන්න ඉඩහැරිය යුතු බවයි උන්වහන්සේ පෙන්වාදුන්නේ.

මෙම ප්‍රශ්නයට උත්තර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණවල වන අතර තාක්ෂණිකව විසඳ ගත යුතු දෙයක් මිස ආගමික කාරණයක් නොවන බවද අභයතිස්ස හිමියෝ කියාසිටියහ.

”පන්සල්වල ඉන්න හාමුදුරුවරු,කෝවිල්වල,පල්ලිවල ඉන්නා පූජකවරු මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. දේශපාලකයෝ මේකට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න සෞඛ්‍ය බලධාරීන්ට ඉඩ දෙන්න.දැන් ප්‍රශ්නේ වල්ගෙන් අල්ලාගෙන ඉන්නේ.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com