අපේක්ෂා කරන සාධාරණ ආසන ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වන්නේ නම්, තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරු අඟවනවා.
ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා ඇත්තේ, 2020 මහ මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවයි.
19 වන සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රසාදයක් නැතැයි පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා “ද හින්දු” පුවත්පත සමග පවසා ඇත්තේ තවදුරටත් තමන් ධුරයේ සිටියේ නම් 19 වන සංශෝධනයේ ඇතැම් වෙනස්කම් සිදුකර එය තවදුරටත් ශක්තිමත් කරන බවයි.
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයින්ට හිමිවිය යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.
ඔහු අවධාරණය කරන්නේ, එම සිරුරු භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන්ද එම මතය සමග එකඟ බවයි.
වසර 30 ක කාලයක් මෙරට පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වුවත් ඒ සම්බන්ධව විධිමත් අධ්‍යයනයක් මෙතෙක් සිදුකර නොමැති බව “ද හින්දු” නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඔහු යෝජනා කර ඇත්තේ, මෙම ආයතනවලින් අපේක්ෂා කරන ජනතා සේවය සැබෑ ලෙසම ඉටුවන්නේදැයි ආණ්ඩුව විශ්ලේෂණයක් කළ යුතු බවයි.
පළාත් සභා සඳහා වාර්ෂිකව වෙන්වන ප්‍රතිපාදනවලින් සංවර්ධන කටයුතුවලට යොදවන්නේ සියයට 25 ක් පමණක් බවත් ඉතිරි සියයට 75 වැටුප්, වාහන, දුරකතන සහ විදුලිය ඇතුළු එදිනෙදා වියදම් සදහා යොදවන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
පළාත් සභාවල අධික සේවක ප්‍රමාණය සහ සභික සංඛ්‍යාව අඩු කිරීමට යෝජනා කරන මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටවලට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් වඩාත් සුදුසු බවයි.
කෙසේවෙතත් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම ගින්දර සමග කරන සෙල්ලමක් බව ද ඔහු “ද හින්දු” පුවත්පත සමග පවසා තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ