රටතුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී එම වෛරසයේ අධි අවධානම් රටක් වන යුක්රේනයෙන් මෙරටට සංචාරකයන් ගෙන ඒම සහ මේ දක්වා රටට විදේශ විනිමය උපයා දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති ආණ්ඩුව උදයංග වීරතුංග ඇතුළු සමීපතමයන් හට සංචාරක ව්‍යාපාරය අත්පත් කර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කරුණු ගණනාවක් හෙළිකරනු ලැබීය.
අද (03) බත්තරමුල්ල, පැලවත්ත එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මධ්‍යම කාරක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම කරුණු අනාවරණය කළේය.
කොවිඞ් වසංගතය පාලනයෙන් ගිලිහිලා රට පුරා පැතිරී තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඊයේ(02) රාත්‍රිය වනවිට ආසාධිතයින් 44,000 ඉක්මවලා මියයාම් 211ක් වාර්තා වුණා. මේ ප්‍රවෘත්තිය පළවෙනකොට ආසාධිතයින් 45,000 සීමාවට යන්න පුළුවන්. දිනකට 500-700 අතර ආසාධිතයින් හමුවෙනවා. මේ විදිහට ගියොත් තව සතියක් විතර යනවිට 50,000 සීමාව ඉක්මවන්න ඉඩ තිබෙනවා.
අපේ රටේ පළමු රැල්ලේදී යම් ග්‍රහණයකට ගන්න හැකිවුණේ සෞඛ්‍ය අංශ උපදෙස්වලට ජනතාව අවනත කරගන්න හැකිවුණු නිසා. නමුත් දෙවැනි රැල්ල ව්‍යාප්ත වීමේදී ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාකලාපය නිසා සෞඛ්‍ය අංශ කෙරෙහි තිබුණු ජනතාවගේ විශ්වාසය බිඳවැටීමට සලස්වලා තිබෙනවා. ආණ්ඩුව මේ විද්‍යාත්මක ක්‍රමවේද පැත්තකට දාලා පැණි පිළිබඳව, වෙනත් ක්‍රමවේද පිළිබඳව ජනතාවගේ අවදානය යොමුකළා. ආණ්ඩුව සහ ඊට හිතවත් මාධ්‍යය මේ සම්බන්ධ නොයෙක් ප්‍රචාර ගෙනගියා. සෞඛ්‍ය ඇමතිවරියගේ ඉඳලා කථානායකවරයා, ජනාධිපතිවරයා, අගමැතිවරු දක්වා මිත්‍යාව ප්‍රචාරය කිරීමට කටයුතු සිදුකළා. මේ නිසා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අනුගතවීම මගහැරුණා. මේ තත්වය කොච්චර දුරට ගියාද කියනවා නම් වසංගතය පාලනය කිරීමට විශාල කාර්භාරයක් කළ අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා පත්තරයකට ප්‍රකාශයක් ලබාදී තිබුණා, අවිද්‍යාත්මක වැඩවලට ආණ්ඩුව මෙතරම් සහයෝගය දක්වද්දී අපි මොන තරම් කැපවුණත් වැඩක් නැහැ කියලා.
වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කොරෝනා පළමු රැල්ල මර්දනයේදී විශාල කාර්යභාරයක් කළ හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමාත් මේ මිත්‍යාව ගැන විරෝධය පළකර තිබුණා.
මේ වන විට නිතර සාකච්ඡාවලට ලක්වී තිබෙන යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීමත් බලවත් ප්‍රශ්නයක්. අපි විශාල අවදානමක් දරාගෙන යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා ගත යුතුද? සංචාරක ව්‍යාපාරය ගොඩගන්නට ඕනෑ කියලා අනුගමනය කළ යුතු ක්‍රමවේදය මේකද? යුක්රේනය කියන්නේ අධි අවදානම් රටක්. මේ වනවිට ලක්ෂ 11කට වැඩි ප්‍රමාණයක් කොරෝනා ආසාධිතයන්. මරණ 19,000ක් පමණ වාර්තා වෙනවා. දිනපතාම 11,000-12,000ක් අතර ආසාධිතයින් හමුවෙනවා. ජනවාරි 08වැනිදා ඉඳලා 24 දක්වා රට ලොක්ඩවුන් කරන්න ඕනෑ කියලා අගමැතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. පහුගිය අවුරුද්දේ මාර්තු 12 ඉඳලා මේ දක්වා යුක්රේනයේ පාසැල් වහලා. මහජන එකතුවීම් තහනම් කරලා. එහෙම රටකින් තමයි කණ්ඩායම් වශයෙන් සංචාරකයන් ගෙන්නා ගන්නේ.
මෙයින් සංචාරක ව්‍යාපාරයේ නියැළි සිටි අයට ආදායම් ලැබෙනවාද? මේ දක්වා සංචාරක ව්‍යාපාරය විවිධ ක්ෂේත්රවල යෙදී සිටි අයට ආදායම් බෙදී යනවාට වඩා උදයංග වීරතුංගගේ සාක්කුවට මුදල් යන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. මේ සංචාරකයන් ප්‍රවානය කරන බස් එක අයිති වෙලා තියනේනේ කලින් ප්‍රවාහනයේ නොසිටි මේ ආණ්ඩුවේ ප්රබලයෙකුගේ මාමණ්ඩියකට. මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරන ව්‍යාපාරික වළල්ලේ දෙතුන් දෙනෙකුට අයිති හෝටල්වල ඔවුන්ට නවාතැන් දෙනවා. ඒ නිසා උදයංග ඇතුළු දෙතුන් දෙනෙකුගේ සාක්කු පුරවන්න අපි රටක් අවදානමේ හෙළිය යුතුද? මෙරටට සංචාරකයන් ගෙන්වා ගන්නවා නම් ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් පසුගිය ජූනි මාසයේදී සෞඛ්‍ය අංශවලින් ආණඩුවට ඉදිරිපත් කළා. ඒ මාර්ගෝපදේශ අනුවද යුක්රේන ජාතිකයන් ගෙනාවේ. දින 14ක් නිරෝධානයන විය යුතු බවට තිබුණු නීති ක්‍රමයෙන් අඩු කරලා දැන් බබල් එක දක්වා ගෙනත් තියෙනවා
පිටරට තියෙන ලංකාවේ තානාපති කාර්යාල හරහා එන්න ඉන්න අයට විශාල කරදරවලට මුහුණ දෙන්න සිදුවෙලා. තානාපති කාර්යාලවලින් ඉතාම නොසැලකිලිමත්ව වැඩ කරන්නේ. සමහර අය උසස් අධ්‍යාපනයට ගියපු අය. මානුෂික හේතුන් මත මේ රටට එන්න ඉන්න අයත් හිරවෙලා. බොහෝ අයගේ රැකියා නැතිවෙලා. තවත් අය අඩු වැටුපකට වැඩකරන්නේ. කොවිඞ් නැති කාලයේදී රටට මුදල් එවපු අය සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. නොමිලේ නැතත් දරාගන්න පුළුවන් මුදලකට ගෙන්වා ගන්න පහසුකම් සළසන්න ඕනෑ. මේ කිසිවක් නොකර ජාවාරමක් කරගන්න ඉඩදීමෙන් විදෙස්ගත ශ්‍රමිකයන් අසරණ වෙලා. තමන්ගේ රටේ මේ පුරවැසියන් ගැන හිතනවා වෙනුවට උදයංගගේ සාක්කු පුරවන යුක්රේන ජාතිකයන්ට නම් ආණ්ඩුව ආදරයෙන් සළකන බව පේනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ