හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අසාධාරණයක් සිදුව ඇති බවට සාක්ෂි පැහැදිලිව ඇති බැවින් ඔහුට ජනාධිපතිවරයා විසින් සාධාරණයක් ඉටු කරන්නේ නම් එය වැරදියැයි කිසිවකුටත් කිව නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
“මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න පුද්ගලයෙකුට විධායක ජනාධිපතිවරයා සමාව දීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියා පටිපාටියක් හදලා තියෙනවා. ඒ අනුව ඒ තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කළයුතු දේ තමයි නඩුව අහපු විනිශ්චයකාර තුමාගෙන් වාර්තාවක් ඉල්ලා සිටීම. ඊට පස්සෙ නීතිපතිතුමාගෙන්. නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් අදහස් විමසනවා ඒ අභිචෝදක පක්ෂය මෙහෙයවපු නීතීඥවරයාගෙන්. එතකොට ඒ වාර්තාවත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තා දෙකම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළයුතුයි අධිකරණ ඇමතිවරයාට. එතකොට අධිකරණ ඇමතිවරයා මේ වාර්තා දෙකම සැලකිල්ලට භාජනය කරලා ඒ පිළිබඳ නිර්දේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම තමයි ඒ සමස්ත ක්‍රියාදාමය.
ඉතිං ඒ නිසා ජනාධිපතිවරයාට තනියම තීරණයක් ගන්න බෑ. ඊට අදාළ තව පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ නඩුව අහපු විනිශ්චයකාරවරයා, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා. ඒක තමයි උචිත ක්‍රියාදාමය.
අනෙක් කාරණය, දැන් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරලා තිබුණා දේශපාලන පළිගැනීම් සම්බන්ධව ගැඹුරින් අධ්‍යනය කරලා වාර්තාවක් ලබාදීමට. දැන් ඒ වාර්තාව ලැබිලා තිබෙනවා රජයට. මං හිතන්නෙ සති දෙක්කට පමණ පෙර ඒ වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට දීලා තිබෙනවා. එදා කොහොමද මේ කටයුතු මෙහෙයවූයේ, කෙතරම් ප්‍රමාණයට අධිකරණයට බලපෑම් කළාද, නඩු අසන විනිශ්චයකාරවරුන්ට නඩුව කොයි විදියට තීරණය කළයුතුද කියලා දේශපාලනඥයින් කෙළින්ම මැදිහත් වුණාද යන්න පිළිබඳ සාක්ෂි තියෙනවා නම් ඒ සියල්ලක්ම අනාවරණය වෙනවා ඒ වාර්තාවෙන්. ඉතිං ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම මොකක්ද වුණේ කියන එක මේ රටේ ජනතාව දැනගත යුතුයි.
දැන් මේ අදාළ නඩුවෙත්, අපි සාකච්ඡා කරන නඩුවෙත් බොහොම පැහැදිලි සාක්ෂි තිබුණා එහෙම වුණා කියලා. ඉතිං එහෙම නම් යුක්තිය ඇත්ත වශයෙන්ම ඉෂ්ඨ වුණාද ? එහෙම නැත්නම් එතන ලොකු අසාධාරණයක් සිදුවුණාද ? අසාධාරණයක් සිදුවෙලා තිබෙන බවට සාක්ෂි පැහැදිලිව පෙනෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම වැරදියි කියලා කාටවත් කියන්න බෑ” යනුවෙනුයි ඒ මහතා දීර්ඝ ලෙස සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ