ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් බව ඉන්දීය විදේශ ඇමති ජනපතිට කියයි

දෙදින චාරිකාවක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවුණා.

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිතුමා ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු, ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දන්වා තිබෙනවා.

සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවටයි ආචාර්ය ජයිශංකර් මහතා පොරොන්දු වී ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com