අපේ රටේ තියෙන්නේ ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී.ලාල්කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“අපේ රටේ ජනතාව 1978 ඉඳලා ආණ්ඩු පිහිටෙව්වා. හැබැයි ඒවා ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම්. ජේ.ආර් ජයවර්ධන පේෂකර්මාන්ත ටික වික්කා. ප්‍රේමදාස අපේ රටේ වතු ඉඩම් වික්කා. ඊට පස්සෙ චන්ද්‍රිකා වානේ සංස්ථාව, එයාර් ලංකා ආයතනය, කිරිපිටි කම්හල ඇතුළු වටිනා සම්පත් වික්කා. ඊට පස්සේ ආවා වික්‍රමසිංහ බ්‍රෝකර් සමාගම. හම්බන්තොට වරාය වික්කා. කොළඹ නගරයේ වැදගත් ඉඩම්, කල්පිටිය දූපත් විකුණන්න සැලසුම් කරලා තිබුනා.

ඊලඟට ආවා රාජපක්ෂ බ්‍රෝකර් සමාගම. පෝට්සිටියේ අක්කර 99ක් ගොඩ කරනවා. අවුරුදු 99ක් යනතුරු ශ්‍රී ලාංකිකයන්ට ඒක අයිති නැහැ. රාජපක්ෂ බ්‍රෝකර්වරු ඒක චීනට වික්කා. ආරක්ෂක හමුදා මූලාස්ථානය, හමුදා රෝහල ශ්‍රැංග්‍රිලා හෝටලයට වික්කා. කොළඹ වරායේ ගැඹුරු පර්‍යන්තයක් චීන CICT සමාගමට වික්කා.”

එම විරෝධතාවයේදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත,

“අපේ රටේ පොදු ජන අරගලයේ තවත් එක් ඉදිරි පියවරක් අද ගෝල්ෆේස් පිටියෙන් ඇරඹුනා. අපේ රටේ වැඩකරන ජනතාවගේ සමගියේ ආරම්භය වරාය වෘත්තීය සමිති සහෝදර සහෝදරියන්ගෙන් මුල්ගල තියල තියෙනවා.

වරාය වෘත්තීය සමිති 23ම එක්සත්ව එක්සිත්ව ගොඩනැගිලා ශක්තිමත්ව නැගෙනහිර වරාය රැකගැනීමේ අරගලයේ න්‍යශ්ටිය බවට පත්වෙලා තියෙනවා. මෑත කාලයේ කිසිම අරගලයකදී අපි මේ බව දැක්කේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විදිහට විකිණීමට එරෙහිව දීර්ඝ අරගල කළ ඉතිහාසයක් තියෙනවා. චන්ද්‍රිකාගේ කාලේ රනිල් වික්‍රමසිංහ ගෙනාපු රිගේනීන් ශ්‍රී ලංකා පරාද කිරීමේ දැවැන්ත අරගලයේ මැදිහත්වීමක් අපි කරල තියෙනවා. ඒ අරගලවල පන්නරයෙන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය 1%වත් විදේශ රටකට දෙන්න ඉඩ තියන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන් ශක්තිමත් බලයක් වරාය තුළින් බිහිවී තිබෙනවා.”

WP Twitter Auto Publish Powered By : XYZScripts.com