දඬුවම් කොමිෂන් දැමීමෙන් ජ.වි.පෙ. බියවද්දා වංචනිකයන් දූෂිතයන් හෙළිදරව් කිරීම නැවැත්විය හැකියැයි සිතනවා නම් එය බරපතළ දේශපාලන වැරදීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (01) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය 29 වැනි දින ගැසට් පත්‍රයක් මගින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසම හරහා සිදු කිරීමට යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමර්ග පිළිබඳ මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමිනි.
ජනධිපතිවරයා පසුගිය 29 වැනිදා අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. එමගින් අලුතින් ජනාධිපති කොමිසමක් පත් කළා. අපි දන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා දෙකක් පත් කළා. එකක් පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා. දැන් එය කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අවසන් වී තිබෙනවා. අනෙක දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවයි. එහි වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා අතට පත්වීමෙන් පසුව දැන් එහි නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කැබිනට් තීරණයක් ලබා ගත්තා. ඉන්පසුව දැන් ඒ සම්බන්ධ දඬුවම් දීමට අදාළව කටයුතු කිරීම සඳහා මේ නව ජනාධිපති කොමිසම පත්කොට තිබෙනවා.
ජනාධිපතිවරයාගේ පළිගැනීම් කොමිසමේ නිර්දේශයක් තිබෙනවා නඩු පැවරීමට මැදිහත් වුණු අයට නඩු පවරන්න. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම නව ජනාධිපති කොමිසම පත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙක් මෙහි කොමසාරිස්වරුන් ලෙස පත්කොට තිබෙනවා. ඔවුන්ට පැවරී තිබෙන්නේ කලින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ ගැනීමයි. මේ අලුත් කොමිසමේ විශේෂත්වයක් තියෙනවා. ඒක පරීක්ෂණ කොමිසමක් නොවෙයි. කලින් කොමිසම පරීක්ෂණ කොමිසමක්. මීට කලිනුත් ජනාධිපතිවරු පරීක්ෂණ කොමිසම් විශාල සංඛ්‍යාවක් පත්කර තිබෙනවා. ඒවායේ වාර්තාද ඉදිරිපත් කර තිබෙනවා. ඒවායේ බොහොමයක් වාර්තා ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඒක සම්ප්‍රදායක් වෙලා තිබුණා.
නමුත් ජනවාරි 29 පත්කළ කොමිසම, පරීක්ෂණ කොමිසමකින් ඔබ්බට ගොස් දඬුවම් නියම කිරීමේ අධිකරණ බලයක් සහිත කොමිසමක්. අපි විශ්වාස කරනවා, අපේ සමාජය විසින් මෙය අවබෝධ කර ගත යුතු බරපතළ තත්වයක් කියලා. අපට මතක ඉතිහාසය තුළ මෙවැනි කොමිසම් දෙකක් පත් වුණා. එකක් තමයි එවකට සමගි පෙරමුණ ආණ්ඩුව විසින් 1972දී පත්කරන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. එය පත්කළේ 1971 අරගලයෙන් පස්සේ ඒ අරගලයට දායක වුණු අයට දඬුවම් කිරීම පිණිසමයි. ඒ, මොහොතේ පැවති සාමාන්‍ය නීතිය තුළ නඩු ඇසුවේ නම් ඒ බොහෝ දෙනෙකුට දඬුවම් කළ නොහැකි නිසයි. ඒ සඳහා ලොකු විරෝධයකුත් සමාජය තුළින් පැනනැගුණා. නැවතත් 1978 දී පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ පාර්ලිමේන්තු බලය සහ විධායක බලය පාවිච්චි කර, සමගි පෙරමුණු ආණ්ඩුවේ කටයුතු සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළා. එයද අධිකරණ බලය සහිත කොමිසමක්. සිරිමා බණ්ඩාරනායක මහත්මියගේත් පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මා ඇතුළු කිහිපදෙනෙකුගේත් ප්‍රජා අයිතිය අහෝසි කළේ එම කොමිසමෙන්. 1978න් පසුව එවැනි අධිකරණ බලය සහිත කොමිසමක් මේ දක්වා පත්කරනු ලැබුවේ නැහැ. අධිකරණ කටයුතු කරනු ලැබුවේ සාමාන්‍ය අධිකරණ ව්‍යුහය තුළමයි. දැන් අවුරුදු හතළිස් දෙකකට පස්සේ ගෝඨාභය ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන කරපු වැඩේම නැවත පටන්ගෙන තිබෙනවා. ඔහු ජේ.ආර්.ගේ අඩිපාරේ යන්න පටන් ගත්ත බවක් තමයි අපිට පේන්න තිබෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ