පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිතුමා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි. ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණය. උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදිය. ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක් බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවකි. එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළහ. තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.
2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබිණ. 2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළහ. කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිතුමා කියා සිටී.
අද (06) පෙරවරුවේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.
2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.
විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.
ගල්ගමුව නගරයේ සිට කි.මි 27ක් දුරින්, උතුරෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයට, බටහිරෙන් පුත්තලම දිස්ත්‍රීක්කයටත් මායිම්ව ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා තිබේ. ගිරිබාව නගර මධ්‍යයේ සිට වේරගල ගම්මානයට ඇති දුර කි.මි 03කි. ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35 අතරින් වැඩිම දරිද්‍රතාවක් සහිත දුෂ්කරතම ග්‍රාම නිලධාරී වසම ලෙස වේරගල සැලකේ.
වේරගල සහ මාඳුරාගම යන ගම්මාන ග්‍රාම සේවා වසමට අයත්ය. සාලිය කුමාරයා, අශෝක මාලා කැටුව පැමිණ සැගවුණු ගම හැඟෝගම බවටත්, පසුකාලීනව මාඳුරාගම බවටත් පත්ව ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වේරගල රජ මහා විහාරස්ථානයේ ඉතිහාසය වළගම්බා රජ දවස දක්වා දිව යයි. පවුල් 149කින් සමන්විත වේරගල සහ මාඳුරාගම ගම්මාන දෙකෙහි ජනගහණය 449කි. වී, තල, බඩ ඉරිඟු කවුපී, මුං සහ උඳු වගාව ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.
“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට ගිරිබාව මහජන ක්‍රීඩාංගණයේ සිට මාඳුරාගම ක්‍රීඩාපිටියට පැමිණි ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටී ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව