තම පුතු Archie ගේ උපතට පෙර ඔහුගේ සම කෙතරම් අඳුරු පැහැති වනු ඇත්ද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුලේ අය සැලකිලිමත් වූ බව සසෙක්ස් ආදිපාදවරිය වන Meghan පවසයි.
Archie හට කුමාරයා යන නාමය ද ලබා නොදීමට එම කරුණු බලපෑ බව ඇය හෙළි කළාය.
අප්‍රිකානු – ඇමෙරිකානු සම්භවයක් සහිත මවකට සහ සුදු ජාතික පියෙකුට දාව උපන් තමන් 2018 වසරේ හැරී කුමරුව විවාහ කරගෙන බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවීමට පෙර ඉතා සරළ කාන්තාවක් වූ බව Meghan පැවසුවාය.
Archie තම කුසෙහි පිළිසිඳගත් කල ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු පැහැයක් ගනු ඇතැයිද යන්න පිළිබඳ ඇය විසින් නම හෙළි නොකළ රජ පවුලේ සාමාජිකයෙකු විසින් සාකච්ඡා කළ බව Meghan හෙළි කළාය.
ඇමෙරිකාවේ CBS නාලිකාවේ Oprah Winfrey සමග සිදුකළ සාකච්ඡාවකදී ඇය මේ බව අනාවරණය කළාය.
Archie ව කුමාරයෙකු බවට පත් කිරීමට තමන්ට සහ හැරී කුමරු ට අවශ්‍ය වූ බවත් ඒ හරහා Archie හට ආරක්ෂාව ලැබෙන බවත් Meghan පැවසුවාය.නමුත් තම දරුවා ඉපදීමටත් පෙර දරුවා පිරිමි ද ගැහැණු ද යන්න පිළිබදවත් නොදැන සිටි සමයේ එම නාමය ලබා දීමට රජ පවුලේ උදවිය අකමැති වූ බව ඇය හෙළිදරව් කළාය.
මේ සියලු අර්බුද හමුවේ ඔබ නිශ්ශබ්දව සිටියාද නැතහොත් නිහඬ කර තිබුණාද යන්න අදාළ සාකච්ඡාවේ දී Meghan ගෙන් ඇසූ කල “දෙවැන්න” යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.
මේ අර්බුද හමුවේ තමන්ට සියදිවි හානි කරගැනීමට ද සිතුනු බව Meghan එහිදී අනාවරණය කළාය.
“මම කිව්වා මට උදව් ගන්න කොහේ හරි යන්න ඕන කියලා. මම කිව්වා මට මීට පෙර කවදාවත් මේ වගේ හැඟීමක් දැනුනේ නැහැ කියලා. මට එහෙම යන්න බැහැ ඒක රජ පවුලට හොඳ නැහැ කියලා කිව්වා.” යනුවෙන් එකල ඇතිවූ තත්ත්වය Meghan විසින් තවත් පැහැදිලි කරනු ලැබුවාය.
මාළිගාවේ සිටින පුද්ගලයින් ද්වේෂ සහගත ප්‍රකාශවලින් තමාව ආරක්ෂා කිරීමට අසමත් වූවා පමණක් නොව අනෙක් අයව ආරක්ෂා කිරීමට බොරු කී බවත් Meghan ප්‍රකාශ කළාය.
“එක පැත්තකින් රාජකීය පවුල ඉන්නවා, අනෙක් පැත්තෙන් මාළිගාව පවත්වාගෙන යන අය ඉන්නවා. ඒ දෙක වෙන වෙනම කොටස් දෙකක්.” යනුවෙන් ද ඇය පැවසුවාය.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන Kate කුමරිය තම විවාහයට පෙර හඬා වැලපුණු බවට වූ පුවත්පත් වාර්තාවක් Meghan ප්‍රතික්ෂේප කළ අතර එය මාධ්‍ය සමඟ ඇයගේ සම්බන්ධතාවයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව ඇය පැවසුවාය.
Meghan විසින් Kate කුමරියව හැඬවුවේද යන්න ඇසු විට “සිදුවුවේ එහි අනෙක් පැත්ත බව ඇය ප්‍රකාශ කළාය.
“මගේ විවාහයට දින කිහිපයකට පෙර Kate යම් දෙයක් ගැන වියවුලෙන් සිටියා. මල් කුමරියන්ගේ ඇඳුම් ඇය වෙනස් කරලා තිබුනා. ඒක ඇත්තටම මගේ හිත රිදෙව්වා.” යනුවෙන් ඇය විස්තර කළාය.
කාටත් නොකී රහසක්
තමාගේ සහ හැරී කුමරු ගේ නිල විවාහ උත්සවයට දින තුනකට පෙර රහසිගතව විවාහ වූ බව Meghan අනාවරණය කළාය.
“අපේ විවාහ උත්සවයට දින තුනකට කලින් අපි විවාහ වුණා. කිසිවෙකු එය දැන සිටියේ නැහැ. නමුත් අපි අගරදගුරු තුමාට කතා කිව්වා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
බ්‍රිතාන්‍ය රාජකීය කටයුතු වලින් තමන් ඉවත් වන බව හැරී සහ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළෝය.
හැරී – මේගන් යුවළ බ්‍රිතාන්‍ය රාජකීය කටයුතු වලින් ස්ථිරවම ඉවත්වූ බව Buckingham මාළිගාව මේ මස මුලදී නිවේදනය කළේය.
මේ අතර තම පවුලට සිඟිති දියණියක් එකතුවීමට නියමිත බව හැරී – මේගන් යුවළ පසුගිය පෙබරවාරි 15 වන දින හෙළිදරව් කළේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්