කෝවිල්වලට මල්මාලා ගෙන්වන්නෙත් ඉන්දියාවෙන්

බම්බලපිටියේ හින්දු කෝවිල් සඳහා අවශ්‍ය මල්මාලා ගෙන්වනු ලබන්නේ ඉන්දියාවේ සිට බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මේ නිසා වාර්ෂිකව විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට යන බවද ඔහු සඳහන් කරයි.

“ඉන්දියාව යුරෝපා සහ ඇමරිකාව ඇතුළු රටවලට මල් අපනයනයෙන් ඉන්දියාව විශාල වාර්ෂික ආදායමක් උපයනවා. ශ්‍රී ලංකාව මල් අපනයනය කලත් තවම එතරම් විශාල විදේශ වෙළෙඳ පොළක් ගොඩනඟාගෙන නෑ” යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව පැවසුවේ අද කතරගම පැවති උත්සවයකට සම්බන්ධ වෙමිනි. මාර්තු 22දා සිට කතරගම පූජා භූමියේ පොලිතින් මල් මාලා භාවිතය තහනම් කරන බවත් ස්වභාවික සහ තෙල් කඩදාසි මල් මාලා භාවිතය අනිවාර්ය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කතරගම පූජා භූමියේ දැනට අලෙවි කරන පොලිතීන් මාලා නිසා එම පුජා භූමිය මෙන්ම කතරගම නගරය ද දැඩි පාරිසරික ගැටළුවලට මුහුණ දී ඇතැයි හෙළීදරව් විය.

වාර්ෂිකව කතරගම පුදබිමට පැමිණෙන භක්තිමතුන් ප්‍රමාණය මිලියන 03ක් පමණ වන අතර ඔවුන් විසින් බාරහාර සඳහා භාවිතා කිරීමට මිල දී ගන්නා පොලිතීන් මලා මාලා ප්‍රමාණය වාර්ෂිකව ලක්ෂ 10 ඉක්මවයි. අවම වශයෙන් පොලිතීන් මල්මාලාවලින් කතරගම පූජා භූමියට වාර්ෂිකව මුදා හරින පොලිතීන්
ප්‍රමාණය කිලෝග්‍රෑම් 20,000ක් පමණ වන බව කතරගම නගර සභාව පෙන්වා දුන්නේය.

මේ අනුව පුජා සඳහා භාවිතා කරන එම පොලිතීන්මල්මාලා බරපතල පාරිසරික ගැටළුවක් වන හෙයින් පොලිතීන් මල් මාලා වෙනුවට ස්වාභාවික මල්වලින් සහ තෙල් කඩදාසිවලින් සකසන ලද මල් මාලා අලෙවිය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත්, එම ව්‍යාපෘතිය මෙම මස 22 දින සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොලිතීන් මල් මාලා සැකසීමේ කර්මාන්තයෙහි එම ප්‍රදේශයේ පවුල් 300ක් පමණ යෙදී සිටින අතර එමපවුල් මෙම ස්වාභාවික මල් හා තෙල් කඩදාසි උපයෝගී කර ගනිමින් මල්මාලා සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ඊට අවශ්‍ය සම්පත් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අවධාරණය විය.

එමෙන්ම මැණික් ගඟේ ඉහළ කොටසේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩදැමීම් හා ගොඩ වැලි සේදීම් නිසා එම ගඟේ පහළ කොටසේ ජලය සම්පුර්ණයෙන්ම බොර වී ඇති හෙයින් අනවසර වැලි ගොඩදැමිම හා වැලි සේදීම සිදු කරන අය අත්අඩංගුවට ගෙන නීතිය අනුව කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.

සුරකිමු ගංගා යටතේ කතරගම නගරය මුලුමනින්ම පරිසර හිතකාමී හරිත නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමටත්, මැණීක් ගඟ දෙපස කුඹුක් පැල රෝපණය කර එම ගඟ ආරක්ෂිත ගංගාවක් බවට පත් කිරීමටත්, මිනිසුන්ට පමණක් නොව යාල අභයභූමිය මැදින් ගලන මෙම ගඟේ ජලය වනසතුන්ට ද උපයෝගී කර ගත හැකි වන අයුරින් සංරක්ෂණය කිරීමටත් තීරණය කරන ලදී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com