ආණ්ඩුවේ වැරදි විවේචනය කරන පුද්ගලයන් පීඩාවට පත් කරන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන පරිසරය විනාශය සම්බන්ධයෙන් තොරතුරු හෙලිකළ තරුණියට එරෙහිව එල්ල වන මඩ ප්‍රහාර, බලපෑම්, තර්ජන ගර්ජන හරහා සාමාන්‍ය ජනතාවට ඕනෑම වැරැද්දකදී, අසාධාරණයකදී කට වසාගෙන නිහඬ සිටින්නැයි රාජ්‍ය යාන්ත්‍රණය විසින් අනතුරු අඟවමින් සිට බව පෙනී යන්නේ යැයිද ජයසූරිය මහතා පවසනවා.
මෙවැනි ක්‍රියාමාර්ග මගින් ප්‍රදර්ශනය කරන්නේ 1940 ගණන්වලදී හිට්ලර්ගේ නාසි ගෙස්ටපෝ හමුදාවේ ක්‍රියාන්විතය හා සමාන තත්වයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී කරු ජයසූරිය මහතා අවධාරණය කළේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන, රාජ්‍ය නිළධාරීන් මැති ඇමතිවරුන්ගේ, රජය සහාය දක්වන කණ්ඩායම්වල උදහසට ලක්වන අයුරු දක්නට ලැබුණු බවත්, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම, පරිසර විනාශයට වගකිව යුත්තන්ට එරෙහිවීම රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකන තරමට තත්වය දරුණු වී ඇති බවද ජයසූරිය මහතා අවධාරණය කරනවා.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,
‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හැමවිටම ක්‍රියාකරන්නේ රට පිළිබ ඳව හැඟීමෙනුයි. රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙනු යි. එහිදී අප පසුගිය කාලය පුරාම ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඉතාමත් සද්භාවයෙන් යුතුව අපගේ අදහස් හා යෝජනා විවෘතවම ඉදිරිපත් කලා. අපගේ මෙම ක්‍රියාකාරීත්වය පිළිබඳව අප සංවිධානයට අයත් සියලුම සාමාජිකයන් බලවත් උනන්දුවක් දක්වනවා. ඔවුන් රටට යහපතක් වන, වියයුතුව ඇති මැදිහත්වීම් පිළිබඳව දැඩි අවධානයකින් යුතුව සිටිනවා. ඒ අනුව අප සංවිධානයේ බහුතර සාමාජිකයන් පිරිසක් අදහස් කරන ආකාරයට අපේ මෙම අදහස් කෙලින්ම ජනාධිපතිවරයා වෙත යොමුකරනවා. එමෙන්ම මේ ගැන ගරු ජනාධිපතිතුමන් තම අවධානය යොමුකරනු ඇතැයිද අපේක්ෂා කරනවා.’
‘අපි සඳහන් කරන කරුණු පාරෙන් අහුලාගත් ඕපාදූප නොවෙයි. අප සොයා බලා තහවුරු කරගත් කරුණු ඒ වගේම මෙහිදී මාහාචාර්ය, ගරු මැදගොඩ අභයතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ මාධ්‍ය තුළින් ප්‍රකාශ කර ඇති වටිනා අදහසක් කෙරෙහිද අපගේ අවධානය යොමුකලා. එහිදී උන්වහන්සේ කියා ඇත්තේ ජනාධිපතිතුමාට සිය සෘජු බව පෙන්වීමට මෙය සුදුසුම අවස්ථාව වන බවයි. මේ රටේ ජනතාව එතුමා ජනාධිපති පදවියට පත්කර ගත්තේ නීතිගරුක සමාජයක් ගොඩනැඟීමට බව එහිදී උන්වහන්සේ පෙන්වා දි තිබෙනවා. උන්වහන්සේ ජනාධිපතිතුමන්ට නිරන්තරයෙන්ම අවවාද හා අනුශාසනා ලබාදෙනවා. ඒ අනුව උන්වහන්සේගේ මෙම අනුශාසනාව පිළිබඳව ගරු ජනාධිපතිතුමා යොමුකරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම එතුමා බලයට පත්කරගැනීමට මේ රටේ ගෞරවණීය මහා සංඝරත්නය අසම සම මැදිහත්වීමක් සිදුකලා. ඒ නිසා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින් ගරු ජනාධිපතිතුමා ඉදිරියේදී හෝ ක්‍රියාකරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙනවා.’
’20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයමෙහිදී අප ප්‍රථමයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අවධානය යොමුකරන්නට කැමැතියි. අපේ රටේ ප්රජාතන්ත්රවාදය, නිදහස හා මිනිස් අයිතිවාසිකම් පැහැරගත් 20 වන සංශෝධනය මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිම ආකාරයකින් අනුමත නොකරන බව අවධාරණයෙන්ම සඳහන් කළ යුතුයි. 20 වන සංශෝධනය සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබානොගත් බව ජනාධිපතිවරයාම සඳහන් කරඇති බව අප දුටුවා. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිතුමා බෞද්ධ උපදේශක මණ්ඩලය හමු වූයේ නැත. එය අපටත් ගැටලුවක් වුණා. ඒ වගේම 20 වන සංශෝධනය සඳහා දැනුවත් කිසිදු මහතෙරනමක් ආශිර්වාද නොකරන බව ප්රමුඛ පෙළේ හික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම අපටත් දැනුම් දුන්නා. ඒ වගේම ලාංකීය ජනතාවගෙන් 80% කට වැඩි පිරිසක් 20 වන සංශෝධනය ප්‍රතික්ෂේප කර ඇති බව සමීක්ෂණ වාර්තා මඟින් අප දැනගත්තා. ඒ වගේම දැනට රට තුළ නිර්මාණය වී ඇති සියලු ආකාරයේ අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතු වී ඇති බව අප වගකීමකින් යුතුව සඳහන් කිරීමට කැමැතියි. ඒ නිසා රටේ පාලනයට හවුල්වීමට සඳහා ද්විත්ව පුරවැසියන්ට ද අවස්ථාව ලබාදීම වැනි රටේ සියලුම අවුල් වියවුල්වලට 20 වන සංශෝධනය හේතුවක් වී ඇත. රටේ ප්රජාතන්ත්රවාදය හා නිදහස අහිමිකරලන 20 වන සංශෝධනය ගැන ජනාධිපතිතුමා නැවත සිතාබැලිය යුතු බව අපගේ හැඟීමයි. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබද පලමු වන සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන බව පොරොන්දු වූයේ ගරු ජනාධිපතිතුමා විසින්මයි. රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කරන, රටේ ස්වෛරීභාවය හා ස්වාධිපත්‍ය තහවුරු කරන නව ආණ්ඩුක්‍රම ව්යයවස්ථාවක් සඳහා පෙනී සිටීම අපගේ ජාතික වගකීමක්. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටුකල යුතුව ඇති වැදගත්ම කාර්යභාරයක්.’
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ