ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් තිබීම මහත් රුකුළක්

ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමේදී එය මහත් රුකුළක් වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හරහා කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වැනි සැසිවාරය, අන්තර්ජාලය හරහා අමතමිනි.

කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට ඒ අනුව හැකියාව ලැබුණු බවයි මහින්ද රාජපක්ෂ මහතා සැසිවාරය අමතමින් පවසා තිබෙන්නේ.

වසංගත තත්වය කෙතරම් බලපෑම් කළද ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වූ බවත් දැඩි බලපෑමක් සිදු වූ සංචාරක ක්ෂේත්‍රයේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

  • Lanka news web
WP Twitter Auto Publish Powered By : XYZScripts.com