ඔලිම්පික් යන මැටිල්ඩා කාල්සන් කෝටි 142ක අශ්වයකු මිලට ගනියි

ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී අශ්වාරෝහක ඉසවුව නියෝජනය කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් තරගය වෙනුවෙන්ම යුරෝ මිලියන 6ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 142ක්) වටිනා අශ්වයකු මිල දී ගනියි. ඇයගේ සහකරු මැන්ෆ්‍රඩ් වොන් ඇල්වර්ඩන් ජර්මනියේ අශ්වයන් අභිජනනය කරන ධනවත් ව්‍යාපාරිකයෙකි. මේ හේතුව නිසාම මැටිල්ඩා කාල්සන්ට තම තරග ඉසවුව වෙනුවෙන්ම සුදුසු අශ්වයා තෝරා ගැනීමේ හැකියාව උදා වී ඇත.

ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මැටිල්ඩා කාල්සන් ඉතාම හොඳ මානසිකත්වයකින් පසුවන හෙයින් ඔලිම්පික් පදක්කමක් කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බවයි. “ඇය තරගයට යන අශ්වයා ලෝකයේ අංක එකේ අශ්වයෙක්. අවුරුදු 12ක් පමණ වයසැති අශ්වයා පිරිමි සතෙක් නිසා මිල අධිකයි. හොඳම ජවයක් ඇති හයිබ්‍රිඩ් අශ්වයෙක් සමඟ මැටිල්ඩා ශ්‍රී ලංකා ධජය අතැතිව ටෝකියෝ යන එක, රටක් හැටියට ආඩම්බරයක්“ ප්‍රේමදාස මහතා පැවැසීය.

මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී අශ්වාරෝහක ඉසවුවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමේ අපේක්ෂාවෙන් පසුවන බව මෙයට වසරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පැවැසීය. දැනට ජර්මනියේ පදිංචිව සිටින මැටිල්ඩා කාල්සන් 1984 සැප්තැම්බර් 27 වැනිදා මහනුවරදී උපත ලැබූ අතර, වසර ගණනාවක් තිස්සේ ජර්මනියේ අශ්වාරෝහක ක්‍රීඩා පුහුණුවීම්වල යෙදී සිටින්නීය.

වසර 1984 දී ඇයට මාස තුනක් වෙද්දී ශ්‍රී ලාංකේය මව්පියන් යුවළ ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවළකට දරුකමට හදා ගැනීමට දී ඇති අතර, පසුව මැටිල්ඩා කාල්සන් යන නම තබා ඇත. කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ආදරය කරමින් පුහුණුවීම්වල නිරත වීමේ උච්චතම ප්‍රතිඵලය මේ වනවිට ඇයට ලැබී ඇත. 37 හැවිරිදි මැටිල්ඩා කාල්සන් ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ්හි හැදී වැඩුණු අතර, අශ්වාරෝහක වෘත්තිය ආරම්භ කර ඇත්තේ රයිටාර්සෝල්ස් කැප් ක්‍රීඩා සමාජයේදීය. එහිදී මැටිල්ඩා අශ්වයන්ට ආදරය හා කරුණාව දැක්වූ බවත්, පසුව එය ක්‍රීඩාවට වර්ධනය කරගත් බවත් සඳහන් වේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඔලිම්පික් සුදුසුකම් ලබාගත් මැටිල්ඩා කාල්සන්ගේ නම මාස තුනක් පමණ ගතවෙද්දී අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය ඉවත් කළ අතර, ඇය එම අසාධාරණයට එරෙහිව ලූසෑන්හී පිහිටි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය හමුවේ නඩුවක් ගොනු කළාය. එහිදී විභාග වූ නඩුවේදී කාල්සන්ගේ නම ඉවත් කිරීම අසාධාරණ නොවන බවට අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත් විය. එහෙත් පරාජය පිළිනොගත් ඇය එම නඩු තීන්දුව පිළිබඳ සෑහීමකට පත් නොවී අභියාචනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තාය.

ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා ‘දිනමිණ’ වෙත පැවැසූවේ මැටිල්ඩා කාල්සන් වෙනුවෙන් ස්වීඩනයේ නීතිඥයන් පිරිසක් මෙම නඩුව ඉතා සාර්ථක ලෙස ගොනු කිරීමෙන් අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයේ තර්ක සියල්ල පුස්සක් බවට පත්වූ බවයි.

අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනය හදිසියේම ශ්‍රේණිගත කිරීම් අනුපිළිවෙල වෙනස් කිරීමෙන් මැටිල්ඩා කාල්සන්ගේ නම පහළට ඇද වැටුණු අතර, එමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවට නීතීඥවරුන්ගේ තර්කය විය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළඟා වී ක්‍රීඩා උලෙළෙට සුදුසුකම් ලබා නොමැති තත්ත්වයක් යටතේ මැටිල්ඩා කාල්සන්ගේ මතුවීම කැපී පෙනෙන සිදුවීමක් මෙන්ම ශ්‍රී ලංකාවට විශාල ගෞරවනීය අවස්ථාවකි.

“ඉදිරියේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අශ්වාරෝහක ක්‍රීඩාවන් අන්තර්ජාතික තරගවලට යැවිය යුතුයි. දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් පමණ මේ ක්‍රීඩාව කිරීමට අපේ සංගමයට බැදී සිටිනවා. එහෙත් ක්‍රීඩා පිටියක් නෑ. දියගම ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව අපට ඉඩමක් ලැබුණා. එහි ඉදිකිරීම සිදුකළා. ඒත් එය තාවකාලිකව නැවැතුණා. ඒ ඉඩම යළි ක්‍රීඩා ඇමැතිතුමා දුන් පසුව අශ්වාරෝහක ක්‍රීඩාව දියුණු කළ හැකියි ” අශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com