T20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 දා සිට අරාබියේදී

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට එහි සත්කාරකත්වය දරන ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ඩුබායි, අබුඩාබි, සාජා යන ක්‍රීඩාංගන 03 කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් වසරකින් කල්දැමීමට සිදු වූ අතර සත්කාරකත්වයද ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාව දක්වා මාරු විය.

ඉන්දියාවේ දැනට පවතින වසංගත තත්වය හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම අවදානම් සහගත වී තිබේ. මේ නිසා තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දියානු ක්‍රිකට් ආයතනයට අවස්ථාව ලබා දී තිබිණි.

අතරමග නතර කළ 2021 IPL තරගාවලියේ ඉතිර තරග සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දියාව සැළසුම් කර ඇති අතර ඒ අනුව IPL අවසන් වී දින දෙකකට පසුව 20/20 ලෝක කුසලානය ආරම්භ වේ.

ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වන තරගාවලියේ මූලික වටය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08 ක් තරග වදින අතර ඉන් තෝරා ගන්නා කණ්ඩායම් 04 ක් සමග සුපිරි කණ්ඩායම් වටය ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වේ.  සුපිරි වටයට කණ්ඩායම් 12 ක් සහභාගි වේ. මූලික වටයේ තරග ඕමානයේදීද පැවැත්වීමට නියමිතය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com