තරගාවලියක් අතරමැද ඉන්න නිසා ඊයෙ සිද්ධිය ගැන මොකුත් කියන්න බෑ (Video)

කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජෛව ආරක්ෂණ බුබුළෙ පිටතට පැමිණ මහමග රැඳී සිටීමේ සිදුවීම අන්ර්ජාලය හරහා සංසරණය වීමත් සමග මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විශාල කැළඹීමක් ඇතිව තිබෙනවා. මේ වනවිට අදාල සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර ඔවුන් වහාම ශ්‍රී ලංකාවට කැඳවීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා සීමිත ඕවර් නායක කුසල් ජනිත් පෙරේරා පවසන්නේ ක්‍රිකට් තරගාවලියක් අතරතුර සිටින බැවින් කණ්ඩායමේ නායකයා ලෙස තමාට එම සිදුවීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. ZOOM ඔස්සේ මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

මෙම සිදුවීමට මැදි වූ ක්‍රීඩකයන් තිදෙනාට හෙට ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගිවීමට නොහැකි වුවහොත් නවක ක්‍රීඩකයන් සමග හැකි අයුරින් තරගාවලියට මුහුණ දෙන බවත්, අප තරග කරන්නේ ලෝකයේ හොඳම එක්දින කණ්ඩායම සමග බව අමතක නොකළ යුතු බවත් කුසල් ජනිත් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීම හමුවේ ක්‍රීඩාලෝලීන් කළකිරීමට පත්වීම පිළිබඳව තමා ඇතුළු කණ්ඩායම දැනුවත්ව සිටින බවත් හැම තරගයකදීම ක්‍රීඩකයන් උපරිම ශක්තියෙන් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසනවා. කෙසේ නමුත් බොහෝ අවස්ථාවලදී ක්‍රීඩකයන්ගේ සැළසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පවසන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com