පෞද්ගලික අංශය මාස 5ට බිලියන 331ක ණය අරන්

මේ වසරේ මුල් මාස පහ ඇතුළත පෞද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය බිලියන 331ක්(රුපියල් කෝටි 33,100) වන අතර, ඒ අනුව මෙරට සමස්ත පෞද්ගලික ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 6.5(රුපියල් කෝටි 650,000) ඉක්මවා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව පසුගිය මැයි මාසයේ පෞද්ගලික ණය වර්ධන වේගය10.5%ක් වූ අතර 2021 පළමු මාස ​​පහ ඇතුළත 5.3%ක ප්‍රතිශතයකින් ණය වර්ධනය වී ඇත.

මහ බැංකු වාර්තාව පෙන්වාදෙන ආකාරයට 2021 ජනවාරි මාසයේදී පෞද්ගලික අංශය රුපියල් බිලියන 26ක ණය ලබාගෙන ඇති අතර පෙබරවාරි මාසයේ එම අගය බිලියන 80කි. මාර්තු මාසයේ එය බිලියන 112ක් වන අතර අප්‍රේල් මාසයේදී එය බිලියන 57කි. මැයි මාසයේදී එය බිලියන 56ක් වී ඇත.

මාර්තු මාසයේදී ලබාගෙන ඇති රුපියල් බිලියන 112ක දැවැන්ත ණය ප්‍රමාණය ඇතැම් විශ්ලේෂකයන් ආර්ථික අපගමනයක් ලෙස හඳුන්වා ඇති නමුත් ඇතැමුන් පවසන්නේ රටේ කොවිඩ් වසංගතය හොඳින් කළමනාකරණය කර ඇති බවට ඇති විශ්වාසය වැඩිදියුණුවීම මත මෙලෙස වැඩියෙන් ණය ලබාගැනීමට පෙලඹී ඇති බවයි.

මේ අතර 2021 පළමු මාස 05 ඇතුළත රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 476ක් වන අතර එහි වර්ධනය 10.4%ක් වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com