පාපන්දු උන්මාදය කොවිඩ් අවදානමකට මග පාදයි

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දු සම්මේලනය වෙත විවේචන එල්ලවීමට පටන්ගෙන තිබේ.

ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක යුරෝ කුසලාන පාපන්දු තරග නැරඹීමට අතිවිශාල පිරිසකට ඉඩ ලබාදීමට යුරෝපීය පාපන්දු සම්මේලනය ගත් තීරණය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත බව ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාපන්දු සම්මේලනය සෞඛ්‍යමය කාරණාවලට වඩා වාණිජමය කරුණු මත පදනම්ව ඇති බවය.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් යුරෝ කුසලානයට සමගාමීව ජර්මනියේ මියුනික් ක්‍රීඩාංගණයේ පැවති තරගයට සහභාගීවීමට අවසර ලබාදී තිබුණේ සීමිත පිරිසකට පමණි.

කෙසේ වෙතත් එංගලන්තය සහ ජර්මනිය අතර තරගය නැරඹීමට ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණය වෙත 40,000කට අධික පිරිසක් පැමිණ තිබුණි.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් තියුණු ලෙස ඉහළ ගොස් තිබෙන පසුබිමක වෙම්බ්ලි හි පැවැත්වෙන අවසන් පූර්ව හා අවසන් තරග නැරඹීමට ප්‍රේක්ෂකයින් 60,000ක පිරිසක් සහභාගීවීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර ස්කොට්ලන්තයේ වෙසෙන  2,000කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබියදී යුරෝ කුසලාන තරගයක් නැරඹීමට පිරිසක් සහභාගී වී තිබෙන බවද එරට බලධාරීන් පසුගියදා අනාවරණ කර තිබුණි.

ජූනි මස 18 වැනිදා එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර එම තරගය නැරඹීමට ස්කොට්ලන්ත වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් ලන්ඩන් වෙත පැමිණ තිබුණි.

පාපන්දු තරඟයක් නැරඹීමට ගිය ෆින්ලන්ත ජාතිකයින් 300 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබේ.

ෆින්ලන්තයේ දෛනික ආසාදන අනුපාතය පසුගිය සතිය තුළ දළ වශයෙන් දිනකට රෝගීන් 50 සිට 200 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාව වර්ධනයවීමට ඉඩ ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 18 කෝටි 38 ලක්ෂය ඉක්මවා ගියේය.

කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුවූ මුළු මරණ ගණන 39 ලක්ෂ 79 දහසකට අධිකය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com