බැසිල් හොඳ දක්ෂයෙක්. වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. මම අයින් වෙන්නෑ

බැසිල් රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් සහයෝගයෙන් කටයුතු කරන හොඳ දක්ෂයෙකු බවත් ඔහු වැඩක් කළ හැකි නායකයෙකු බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. 

“මෙහෙමයි, මම මගේ පක්ෂය වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් කොටස කරනවා. බල්ලො බිරුවාට කඳු පාත්වෙන්නෙ නෑ. අපේ පක්ෂයේ තිබෙන අර්බුදය, අපේ පක්ෂය ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව හදන්න කරපු කැපකිරීමට අවශ්‍ය කරන ශක්තිය – පල්ලෙහා මිනිස්සුන්ට, අපට නෙවෙයි. අපට මේ ඇමතිකම්වල, කැබිනට් ඇමතිකම්වල නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ – ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, සංවිධායකවරුන්ට මේ ආණ්ඩුවෙ කිසිදු වැඩපිළිවෙලකට සම්බන්ධ කර නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අපට තියෙනවා. ඒ ප්‍රශ්නය ඉවර වෙනතුරු අපි අපේ සටන අතාරින්නේ නෑ” 

ප්‍රශ්නය – ශ්‍රීලනිපයේ අකමැත්තෙක් නැහැ නේද බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු එනවාට ? 

“අයියෝ, කිසි ගැටළුවක් නෑ. එතුමා ඉතිං අපිත් එක්ක එකට වැඩ කරනවා. එතුමා හොඳ දක්ෂයෙක්. වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඒක ගැන ගැටළුවක් නෑ ඉතිං. ඒක පොදුජන පෙරමුණනෙ තීරණය කරලා තියෙන්නෙ” 

ප්‍රශ්නය – සමහර ඇමතිවරු ප්‍රකාශ කළා ඔබතුමාට බැරි නම් දාලා යන්න කියලා … 

“ඔය එක එක නරි හූ කිව්වාට මම අයින් වෙන්නෙ නෑ. මම අයින් වෙන්නම් කියලා මම ඊයෙ අපේ මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළා. පක්ෂය වෙනුවෙන් ඒ සූදානම තියෙනවා මගේ. මට ප්‍රශ්නයක් නෑ මේ ඇමතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නෙ. අපේ පක්ෂය කියනවා නම් මගේ නායකයා කියනවා නම් මගේ මන්ත්‍රී කණ්ඩායම කියනවා නම් මගේ ජ්‍යේෂ්ඨයො ටික කියනවා නම් මගේ මධ්‍යම කාරක සභාව කියනවා නම් යන්න කියලා, මම යන්න සූදානම්” 

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) මැතිවරණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 

මීට දින කිහිපයකට ඉහතදී ඒ මහතා බැසිල් රාජපක්ෂ මහතා කෙරෙහි දැඩි විවේචනාත්මකව අදහස් දක්වමින් තමන්ට විහිළුකාර නම් වලින් යුත් අමාත්‍යාංශ ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් ඔහුට පාර්ලිමේන්තු පැමිණ අලුතින් කිසිවක් කළ නොහැකි බවත් පවසා තිබිණි. ඒ අනුව මේ ටික දවසේදී “දයා හුඟාක් වෙනස් වෙලා” බවක් පෙන්නුම් කෙරේ. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com