හොඳම එන්නත චීන එන්නත බව හැඟවීම වැරදී

බොහෝ රටවල් සිනොෆාම් පිළිනොගන්නා නිසා රට රැකියා වලට යන්න බෑ.

සිනොෆාම් එන්නත පිළිබඳ පමණක් සිදු කරනු ලබන පර්‌යේෂණයකින් එය ලොව ඇති හොඳම එන්නත බවට තහවුරු නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අදාළ පර්‌යේෂණය සිදු කර ඇත්තේ සිනොෆාම් එන්නත ගැන පමණක් බවත් එන්නත් අතර සංසන්දනාත්මක පර්‌යේෂණයක් සිදු කර නොමැති බැවින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ ප්‍රතිඵලය භාවිත කර චීන වැක්සීනය ‘‘හොඳම වැක්සීනය’’ බව හැඟවීමට උත්සාහ ගැනීම වැරදි සහගත බවද ඔහු සඳහන් කරයි.

මේ පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ නොවෙනස්ව තිබියදී, වැක්සීනය හේතුවෙන් රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමට නොහැකිවීම බරපතළ ගැටලුවක්.

යුරෝපයේ සහ මැදපෙරදිග බොහෝ රටවල් එම රටවල්වලට ශ්‍රමිකයන් ගෙන්වීමේදී චීන වැක්සීන පිළි නොගන්නා බැවින්, මෙලෙස ශ්‍රමිකයන් යැවීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මේ වන විටත් රැකියා ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් නිසා අහිමිව ඇති අතර ඊට හේතුව රැකියා වෙළෙඳපොළේ අඩුවීමකට වඩා ශ්‍රමිකයන් යැවීමට නොහැකිවීම බව තහවුරු වී ඇත.

එබැවින් චීන වැක්සීන මත සම්පූර්ණ බර තැබීම වෙනුවට, අවම වශයෙන් ලොව පිළිගන්නා එන්නත්, විදෙස්ගතවීමට අපේක්ෂිත ශ්‍රමිකයන්ට හෝ ලබාදීමේ වැඩපිළිවෙළක් වහා ඇරඹිය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී ස්වාභාවයක් පෙන්වන අතර තීරණ නොගන්නා නිලධාරීන් හොඳම නිලධාරීන් බවට පත් වීමේ තත්ත්වයකට පත්ව තිබේ. ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගේ මෙකී දියාරු ප්‍රතිපත්ති හේතුවෙන් රජය විසින් ප්‍රතිපාදන වෙන් කර ඇතත් උපකරණ සහ සැපයුම් පවා සෞඛ්‍ය සේවාවට නොලැබී යෑමේ අනතුරක් පවතී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com