පිහිනුම් තටාකය දෙවනත් කළ යෞවනයා

ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගීවන අහමඩ් හෆ්නාඔයි මෙවර ටෝකියෝ බලා පැමිණියේ වැඩි බලාපොරොත්තුවක් සහිතව නොවේ.

නමුත් පිරිමි මීටර් 400 නිදහස් ආර මූලික වටයේ තරඟ වලින් අනතුරුව කෙසේ හෝ අවසන් වටයට පිවිසීමට ඔහු වාසනාවන්ත විය.

ඔහු අවසන් වටයට සුදුසුකම් ලැබුවේ එසේ සුදුසුකම් ලැබූ තරඟකරුවන් අතුරින් වැඩිම කාලයක් වාර්තාකළ තරඟකරු ලෙසය. එබැවින් 18 හැවිරිදි අහමඩ් ට හිමිවූයේ අපහසුම තීරුවකි.

නමුත් මීටර් 400 නිදහස් ආර පිහිනුම් තරඟය සුවිශේෂී තරඟයක් කර ගැනීමට අහමඩ් සමත් විය. ඒ තරඟයේ පළමුවැනියා වෙමිනි.
  
විනාඩි 3 තත්පර 43.36කින් තරඟය නිමකළ අහමඩ් ඔස්ට්‍රේලියාවේ ජැක් මැක් ලව්ලින් ව පරාජය කළේ සියලුදෙනා පුදුමයට පත්කරමිනි.

“මට මෙය විශ්වාස කළ නොහැකියි. මට සිහිනයක් තිබුණා. දැන් එය යතාර්ථයක් බවට පත්වුණා. මගේ හොඳම පිහිනුම් තරඟය තමයි මෙය,” අහමඩ් තරඟයෙන් අනතුරුව පැවසීය.

එය මෙතෙක් ටියුනීසියාව ජයගෙන ඇති 5 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර පිහිනුම්වලින් ජයගෙන ඇති තෙවැනි අවස්ථාව මෙය වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com