ධනුෂ්ක,කුසල් සහ නිරෝෂන් පිළිතුරු සපයති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ට එල්ලවී ඇති චෝදනා පත්‍රවලට පිළිතුරු ලබාදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඉකුත් ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් “ඩරම්” ප්‍රදේශයේදී සමාජගත වී සිටි බවට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. 

ඒ අනුව ඔවුන් පිළිබඳ ගන්නා තීරණය ඉදිරි සතියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ සිද්ධිය වාර්තාවීමත් සමග අදාළ ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔවුන්ව ජුනි 29 වනදා ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව ඔවුන්ගේ දින 14ක නිරෝධායනය අවසන්වීමෙන් පසු සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි. 

එම සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුසල් මෙන්ඩිස් උප නායකයා ලෙසත්, ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙසත්, නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසත් කටයුතු කර කළේය.

එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් ජුලි 7 වනදා පත්කර තිබුණි.

ඒ අනුව, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. ද සොයිසා යන මහත්වරුන් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා පත් කෙරිණි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com