අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා

තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජාතික ක්‍රීඩා සතිය නිමිත්තෙන් පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලාව පිළිබඳ ප්‍රදර්ශනාත්මක සටන් සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.

කොරතොට පරපුරේ අංගම්පොර සටන් ශිල්පී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් ශිල්පය ලබාදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්පී කණ්ඩායම විසින් මෙම සංදර්ශන ඉදිරිපත් කළහ.

මෙහිදී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් අදහස් දක්වමින්, සුදු අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් ක්‍රමයට බියව වර්ෂ 1815 ඔක්තෝම්බර් මස 5 වෙනි දින මෙම සටන් ක්‍රමය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු රජයකින් පියවර නොගෙන ඇති බැවින් එම තහනම ඉවත් කර දෙන ලෙසට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

” අංගම්පොර සටන් කලාව පිළිබඳව අද ඊයේ නොව , බටහිර අධිරාජ්‍යවාදී සමයේදී තහනමක් සිදු කර තිබෙනව.මේ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක් කරගෙන යනව. අපි ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල , ගැසට් මගින් එය ඉවත් කිරීමට කටයුතු කරනව. මෙය අනිවාර්යයෙන්ම මෙම වසර තුල ඉටු කිරීමට කටයුතු කරනව.”

WP Twitter Auto Publish Powered By : XYZScripts.com