ළමයින්ගේ ආරක්ෂණයේදී වැදගත්ම කාර්යයක් වන්නේ ලිංගික අපයෝජනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීමය. ඒ එවැනි අත්දැකීම් ඉතාමත් දැඩිව ඔවුන්ගේ අනාගතයට බලපාන නිසාය. එතැනින් නොනැවතී සමාජයටද එහි අතිරික්තයන් උතුරා යන නිසාය.
මේ ගැන කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන වැදගත්ම කාරණය නම් ඔවුන් අපයෝජනයට ලක් වන්නේ ඔවුන්ගේම ආරක්ෂකයන් අතින් බවය. ඒ අතර සොයුරු සොයුරියන්ද මාමලා බාප්පලාද ගුරුවර ගුරුවරියන්ද පූජකයන්ද ඇත. ඒ බොහෝ අවස්ථාවල එවැනි අයගේ ඉලක්කයන්ට අසුවීමට එක හේතුවක් නම් ඔවුන්ව විශ්වාස කිරීමය.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව කියා ගැලවෙන්නට කාට හැකි වුවත් ළමා ආරක්ෂණ අධිකාරියට නම් බැරිය. මක් නිසාද යත් ඔවුන් වැටුප් ලබන්නේද ආයතයට අදාළ සෙසු පිරිවැය දරන්නේද ළමයින්ගේ ආරක්ෂාවේ නාමයෙන් බැවිනි.
මෙයින් ළමුන් ගලවා ගත හැක්කේ ඔවුන්ට දැනුමදීමෙනි. ඔවුන් දැනුවත් කිරීමෙනි. ඒ සඳහා ලිංගික අධ්‍යාපනය අනිවාර්යය වෙයි. එහෙත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය දකින්නේම කුණුහරුපයක් හැටියටය. ඉතා සංයමයකින් ලියා ඇති ‘හතේ අපේ පොත’ භික්ෂූන් වහන්සේලා කීප නමක් එකතු වී අධ්‍යාපනයෙන් අයින් කරනු ලබන්නේ එය කුණුහරුපයක් බව කියමිනි. එහෙත් සුදුසු විකල්පය කුමක්දැයි ඒ උන්නාන්සේලා පමණක් නොව වෙන කිසිවෙකු හෝ කියන්නේ නැත.
ළමුන් බලාත්මක නොකර ඔවුන් මේ උගුලෙන් ගලවා ගැනීම අපහසුය. එහෙත් භික්ෂූන්ගේ විරෝධය මාධ්‍යයේ මෙය අකුලා ගත් පසු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ බවට ආරංචියක්ද නැත.
සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් මෑතකදී පවත්වනු ලැබූ online සාකච්ඡාවකදී මේ ප්රශ්නය මම මතු කළෙමි. මා ඇසූ එක් ප්‍රශ්නයක් වූයේ හතේ අපේ පොත තහනම් කිරීම මගින් ළමුන් බලාත්මක කිරීමේ කටයුත්තට වැටුනු බාධකය සම්බන්ධයෙන් අධිකාරිය කුමක් කරන්නේද යන්නය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා ඒ ගැන දුන්නේ පුදුම උපදවන ප්රතිචාරයකි. ඔහු කියා සිටියේ හතේ පන්තියේ උගන්නා දියණියක් ඒ පොත හඳුන්වා දී ඇත්තේ කුණුහරුප පොතක් ලෙසින් බව තමාට වාර්තා වී ඇති බවය. එවැන්නක් වෙනුවෙන් පෙනී සිටීමේ අමාරුකම ඔහු එසේ අනියමින් දක්වා සිටියේය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය බව ඔහු පිළිගත්තත් අනිත් සියලු ඉලක්ක ගැන කාලවකවානු දුන් ඔහු ලිංගික අධ්‍යාපනය ගැන කාලවකවානු හෝ අධිකාරියේ ඉලක්ක ඍජුව කියා සිටියේ නැත. ඔහු එය මග හැරියේය.
මට ඔහුගේ කතාවෙන් ඇති වූ මූලිකම ප්රශ්නය දියණියගේ උත්තරය ඔහු බාර ගත් හැටිය. ඒ දියණියගේ උත්තරය හරහා අපට කිනම් නිගමනයක් බැස ගත හැකිද ? එය ඇගේ ප්‍රකාශනයක්ද ? කවුරු හෝ ඇයට කී දෙයක්ද ? රූපවාහිනියේ භික්ෂූන් වහන්සේලා විසින් කියල ලද්දක් ඇය ප්රතිරාවය කරනවා වත්ද ? ඇය එසේ කියන්නේ කුණුහරුප පිළිබඳව වැටහීමක් ඇතිවද ? එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව විය හැක්කේ ඇයට කුණුහරුප පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක් නැති නිසාද ? ලිංගිකත්වය මහා නරක දෙයක් ලෙස ඇය අසා ඇති නිසාද ?
එහෙත් එවැනි විපරමකට නොගිය සභාපතිතුමා තීරණය කර ඇත්තේ ඒ දියණියගේ ප්‍රකාශය නිසාම එය සැබැවින්ම කුණුහරුප පොතක් විය යුතු බවය.
ඇත්තටම එක් අතකට එතුමා අසරණය. මේ රටේ වැඩ කෙරෙන්නේ භික්ෂූන් වහන්සේලා කියන විදිහටය. එසේ මැදිහත් වන භික්ෂූන් වහන්සේලා නොදන්නේ ආගම ධර්මය පමණකි. උන් වහන්සේ අන් සියලු දේ සම්බන්ධයෙන් විද්වතුන්ය. දියණියගේ කතාව ඔහු අපට කියන්නට ඇත්තේ අපව හගිස්සවන්නට පමණක් විය හැකිය. අපට අනුව නම් ආගම හරහට සිට ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාවටය. ලිංගික දැනුමක් නොමැති දරුවෙකු පහසුවෙන් තමන්ගේම හිතවතෙකුගේම ගොදුරක් වීමේ ඉඩ හසරක් තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරුවන් වෙනුවෙන් සැබැවින් පෙනී සිටින්නේ නම් මෙවැනි අදූරදර්ශී ආගමික මැදිහත් වීම්වලටද අභියෝග කළ යුතුය. එහෙත් රජයේ නිලධාරියෙකුගෙන් එවැනි හැසිරීමක් අපට මේ කාලවකවානුවේ අපේක්ෂා කළ නොහැකිය.
මා තවදුරටත් කීවේ ආගම කුඩා දරුවන්ගේ ආරක්ෂාවටද තවත් ආකාරයකින් නරක ලෙසද මැදිහත් වී ඇති බවත් ළමා ආරක්ෂණ අධිකාරය ඒවා සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත්ය. එකක් කුඩා ළමුන් මහණ කිරීම හරහා ඔවුන්ගේ ළමා දිවිය ඔවුන්ගෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන්ය. දෙවැන්න ඒ ළමා කොල්ලයටම ළමා විවාහය පිළිබඳ මුස්ලිම් විවාහ නීතිය යටතේ ඉඩ සළසා දීම සම්බන්ධයෙන්ය.
මෙවැනි විශාල කපොලු තිබිය දී කුඩා හිල් වැහීමෙන් වැඩක් නැති බව, නස්රුදීන් යතුර නැති වුනු තැන එය නොසොයා එලිය තියෙන තැනක් බලා එය සෙවීම වැනි යැයි කියමින්, ඒත්තු ගන්වන්නට උත්සහ කළ නමුත් එය ළමා මහණ කිරීම් සම්බන්ධයෙන් නම් සාර්ථක වූයේ නැත. ඒ රාහුල කුමරුන් නිසාය.
බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන තීන්දු තීරණ ගන්නා මිනිසුන්ට පදවි තානාන්තර ලැබුනු විට ඔවුන්ගේ මහාචාර්ය පට්ටම්වලින්ද වැඩක් නැති බව පෙන්වන හොඳම උදාහරණය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමාය.
මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් නම් පනතක් සකස් කර ඇතැයි ඔහු කීවේය. එයද හතේ අපේ පොත මෙන් අතරමගදී නතර නොවනු ඇතැයි හිතන්නට අපේ ඉතිහාසය අපට ඉඩ දෙන්නේ නැත. ආරම්භ කරන ලද බොහෝ යහපත් දේ සංස්ථාපිත ආගමේ මැදිහත් වීමෙන් අතුරුදහන් කරන ලද නිසාය.
මෙවැනි රටක දරුවන් ආරක්ෂා කරන්නට සමත් අභීත අධිකාරියක් මෑතකදී පහළ වෙන එකක් නැත. එවන් අධිකාරයකට පහසුකම් සලසන ආණ්ඩුවක්ද ඇතිවන එකක් නැත. එතෙක් ළමයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැක්කේ අපට පුළුවන් විදිහට ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් වීම පමණය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ