ලෝකයේ ඉතාම ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන බීටීඑස් (BTS) කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් චීනය තුළ යම් වාරණයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙවැනි ජනප්‍රිය කණ්ඩායම්වල රසික රසිකාවියන් විසින් පවත්වාගෙන යනු ලබන රසික සමාජවල සමාජ මාධ්‍ය ගිණුම් 22 ක් තහනම් කිරීමට එරට වයිබෝ නමැති ප්‍රකට සමාජ මාධ්‍ය අඩවිය පියවර ගෙන ඇත. ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අතාර්කික ලෙස ජනප්‍රිය තරු අනුගමනය කිරීමක් මේවා තුළින් සිදුවන බවයි.
මෙම එක් රසික ගිණුමක් බීටීඑස් කණ්ඩායමේ ගායකයකු වන පාර්ක් ජි-මින් වෙනුවෙන් ගුවන් යානයක් නවීකරණය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් එකතු කර තිබූ බවද සඳහන්ය. ඒ ඔහුගේ 26 වැනි උපන් දිනය වෙනුවෙනි.
නීතිවිරෝධී ආකාරයෙන් අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන්ද වයිබෝ ආයතනය එක් රසික ගිණුමකට චෝදනා කර තිබිණි. මේ ආකාරයෙන් අතාර්කික ආකාරයෙන් ජනප්‍රිය තරු හඹා යෑම තමුන් අනුමත නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් වයිබෝ ආයතනය පවසා තිබේ.
තම සමාජ මාධ්‍ය අඩවිය තුළ සිදුවන මෙවැනි කටයුතු වඩාත් ‘පිරිසුදු කිරීමට’ තමුන් බලාපොරොත්තු වන බවද ඔවුන් පවසා තිබිණි. බීටීඑස් කණ්ඩායමේ නිල ගිණුම ඇතුළු තවත් ජනප්‍රිය කණ්ඩායම් කිහිපයක ගිණුම්ද තාවකාලිකව තහනම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ආකාරයෙන් තහනම් කර ඇත්තේ Blackpink, GOT 7, EXO වැනි කණ්ඩායම්වල ගිණුම්ය.
කෙසේ වෙතත් මෙය චීනයේ විනෝදාස්වාදන කර්මාන්තයටත්, රසික සංස්කෘතියටත් එරෙහිව ක්‍රියාත්මක කරමින් ඇති වඩාත් පුළුල් වැඩපිළිවෙළක තවත් පියවරක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සමහර ජනප්‍රිය කලාකරුවන්ගේ ක්‍රියාවන් චීනයේ සම්ප්‍රදායික වටිනාකම්වලට පටහැනි නිසාත්, ඒවායින් තරුණ පරපුර මත නරක බලපෑමක් ඇති කරන නිසාත් මෙවැනි පියවර ගන්නා බවද රජයේ ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර තිබේ.
සමහර විචාරකයන් පෙන්වා දෙන්නේ තරුණ තරුණියන් විශාල වශයෙන් ඒකරාශි කිරීමේ ශක්තියක් ඉහත කී කලාකරුවන්ගේ රසික සමාජවලට තිබෙන නිසා මෙම තහංචි පිටුපස දේශාපාලනික අරමුණුද තිබෙන්නට ඉඩ ඇති බවයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ