තමා ඉන්දීය පිලේ පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පමණක් පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවට පලවන වාර්තා අසත්‍ය බව ට්විටර් පණිවුඩයක් තබමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.
අදාළ කාරණය සම්බන්ධයෙන් තමා මේ දක්වා කිසිදු සම්මුඛ සාකච්ඡාවකට හෝ ඉදිරිපත් වී නොමැති බවද මහේල ජයවර්ධන විසින් අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්කර තිබිණි.
ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට ආසන්න වීමෙන් අදාළ ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉදිරියේදී පුරප්පාඩුවක් වනු ඇතැයි සඳහන් වේ. පුහුණුකරුවකු වශයෙන් අතිශය සාර්ථක ගමනක නියැළී සිටින මහේල ජයවර්ධන මේ දිනවල එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබයි.
ඉකුත්දා එංගලන්තයේ පැවැති ද හන්ඩ්‍රඩ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීද, ශූරතාව දිනාගනු ලැබුවේ මහේල පුහුණුකරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමය.
අදාළ අයි.පී.එල්. තරගාවලිය අවසන් වූ පසුව මහේල කිසිදු වැටුපක් හෝ වරප්‍රසාදයක් නොමැතිව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස එක් වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ඉදිරියේදී සහභාගි වන ආසියානු සහ ලෝක කුසලාන තරගාවලියට මේ දිනවල ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ පුහුණු කඳවුරක කටයුතු කරමින් සිටී. අදාළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් අවිශ්ක ගුණවර්ධන කටයුතු කරනු ලබයි.
කෙසේ නමුත් විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු වශයෙන්ද මහේල ජයවර්ධනව කණ්ඩායමට එක්කර ගැනීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාද වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්