2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව 75%ක් මෙවර උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ඒ අනුව සිසුන් 231,458 දෙනෙකු මෙවර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාඇති බවය.
මෙවර ප්‍රතිඵල සම්බන්ධයෙන් සතුටට පත්වන බවද ඔහු පැවසීය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ සෞන්දර්ය විෂයන් සඳහා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් නොකළද සිසුන්ට උසස් පෙළ හැදැරීමට එය බාධාවක් නොවන බවය.
පාසල් විවෘත කිරීමෙන් අනතුරුව සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා, නැවත එම සිසුන් සඳහා පමණක් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට නියමිතය.
සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල තීරණය කර නොමැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවලට ඇතුළත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්‍රලේකය ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කෙරෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා,
“සෞන්දර්ය විෂයට ඉදිරිපත් වූ දරුවන් 170,000 ප්‍රතිඵල අනුව විෂයන් 5ක් සමත් වෙලා නම් සම්මාන 2ක් තියෙනවා නම් නිපුණතා මට්ටම 1, 2, 3, 4 තියෙනවා නම් ප්‍රතිඵල එනතුරු උසස්පෙළ හැදෑරිය හැකියි.”
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 622,352 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 4,513කදී පෙනී සිටියේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවය.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් කඩිනමින් අදාළ පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ